_

'ද නිවුස්පේපර්' සිනමා පටය පිලිබදව ආපසු හැරී බැලීමක්

ඉංජිනේරු සුරන් ප්‍රනාන්දු විසිනි

කොරෝනා පළමු රැල්ල හා දෙවන රැල්ල අතරමැද සමයේදී තිරගත වූ බැවින්, වැඩි ප්‍රේක්ෂක අවධානයකට ලක්නොවූ, හොඳ චිත්‍රපටයක් පිලිබඳ සටහනක් තැබීමට සිත් වීමි. වත්මන් සමාජය පිලිබඳ සියුම් නමුත් ගැඹුරු කියවීමක් සනිටුහන් කරන "The Newspaper" (2020) සිංහල චිත්‍රපටය මෑත යුගයේ බිහිවූ වෙනස්ම සිනමා නිර්මාණයකි.

සිනමාපටය නැරඹීම සඳහා දිගුව:

https://www.facebook.com/watch/?extid=WA-UNK-UNK-UNK-AN_GK0T-GK1C&v=1862929013847784


වේදිකාවේ හා රුපවාහිනියේ ප්‍රවීන චරිතාංග නළුවන් දෙපලක් වන කුමාර තිරිමාදුර හා සරත් කොතලාවල තිරනාටකයයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායක වන මේ සිනමා පටයේ ප්‍රධාන චරිත ද්විත්වය නිරුපනය කරනු ලබන්නේද එම දෙපලමයි.

වසර 15කට වැඩි කාලයක් මෙරට ජාතික පුවත්පතක රැකියාව කළ කුමාර තිරිමාදුර යනු, ඔහුගේම වචනයෙන් කියනවා නම්, නාගරික රස්තියාදුකාරයෙකි. පසු කාලීනව කලා ලෝකයට පිවිසි සරත් කොතලාවල, මුලින් ගැමි ගොවියෙකි. ගම, නගරය, ජනමාධ්‍යය ඇතුළු සමස්ත සමාජයේ විවිධ පැතිකඩයන් පිළිබඳව ඔවුන් දෙදෙනාගේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ ජීවන අත්දැකීම් සමුදාය මේ සිනමාපටය හරහා මනාව චිත්‍රනය කිරීමට ඔවුන් සමත්ව ඇත.


සරත් කොතලාවල නිරුපනය කරන 'ගුණා' යනු තමන් වසන ගැමි සමාජය විසින්ම හිංසනයට හා ගැරහුමට ලක්කර කොන්කරනු ලැබූ දිළිඳු අබ්බගාතයෙකි. කුමාර තිරිමාදුර ජිවය දෙන 'ලුයියා' යනු මළපොතේ අකුරක් නොදත් හරක් බලන්නෙකි. කිලිටි ඇඳුම් ඇඳි, හිසකේ නොපීරූ නූගතුන් දෙදෙනෙකු විසින් මෙරට උගත් සමාජයට කියාදිය හැකි පාඩම කුමක්දැයි සිනමාපටය නැරඹීමට පෙර ඔබට සිතුනේ නම් එය අරුමයක් නොවේ. එනමුත්, සෑම රූප රාමුවෙන් රාමුවටම ප්‍රේක්ෂකයාගේ කුතුහලය එකසේම රඳවාගෙන, විටෙක අපව සිනහ ගන්වමින්, තවත් විටෙක අපගේ හදවත් කීරීගස්වමින්, අප අවට ඇති සමාජයේ අප දැක දැකත් නොදකින සත්‍යය අප ඉදිරියේ ඔවුන් දෙපල නිරාවරණය කරන්නේ අපට නොදැනීමයි. සෑම සමාජ මට්ටමක මිනිසුන් ස්වාර්ථය වෙනුවෙන් එකිනෙකා පරයා ඉදිරියට යාමට තැත් කරන ආකාරයත්, ඒ අතරින් අහම්බෙන් යම් යම් තැන්හී මතුවන ආදරණීය මනුෂ්‍යත්වයත්, ඒ දෙකෙහි විශම සංකලනයේ අපුර්වත්වයත් මෙහිදී මනාව පිළිඹිබු කිරීමට සිනමා කරුවන් සමත් වේ.


නූතන පාරිභෝගික සමාජය තුලදී, ජනමාධ්‍යය විසින් කොතෙක් දුරට අපව මෙහෙයවනවා ද (නැත්නම් අපව නටවනවා ද) යන්න මේ තරම් සීරුවෙන් පෙන්වා දුන් සිනමාපටයක් මෙරට සිනමා වංශකතාවේ නොමැති තරම්ය. ලාංකීය සමාජය විසින් පුවත්පත්, ගුවන්විදුලි, රුපවාහිනී ආදී ජනමාධ්‍යයන් (මෑතක සිට එක්වූ සමාජ මාධ්‍යයත් ඇතුළුව) කෙරෙහි කෙතරම් පිළිගැනීමක් හා  විශ්වසනීයත්වයක් දක්වනවාද යන්න අපි අත්දැක ඇත්තෙමු. "පත්තර වල මහත්තුරුත් බොරු කියනවද?" යැයි නූගත් ලුයියා වික්ෂිප්තව ප්‍රශ්න කරන්නේ මෙබැවිනි. සමාජයේ උගතුන් පවා "ඒ කතාව ඇත්ත. ඒක පත්තරෙත් තිබ්බා." යැයි පවසනු කොතෙකුදු අපට ඇසී ඇත්ද? අගනුවර කේන්ද්රීය මුද්රිත මාධ්යය බල අධිකාරිය ඈත පිටිසර ගම්මාන වල ජිවත්වන පුරවැසියන්ගේ ජීවිත වලට කෙතරම් බලපෑමක් කරනවාද යන්න, එක් වැරදි පුවත්පත් ශිර්ෂපාඨයක් නිසා ගුණා හා ඔහුගේ මවට ගම්වැසියන්ගෙන් එල්ලවූ අඩත්තේට්ටම් සමුදාය මොනවාට දෙස් දේ. ලාංකීය ජන විඥාණය තුල 'අච්චු අකුරු' වලට දී ඇති ගෞරව සම්ප්‍රයුක්ත  පිළිගැනීම පිළිබඳව හොඳහැටි දන්නා මාධ්‍යය ආයතන, එම අහිංසක ජනතා විශ්වාසය කෙතරම් අපයෝජනය කරනවාද යන්න 'The Newspaper" සිනමාපටය තිරය මත මොනවාට දිග හරී.

බෝම්බයට හසුවී මිය ගිය, ගුණාගේ බාල සොහොයුරා, බෝම්බය ඇටවූ "සිංහල කොටියෙක්" ලෙස හඳුන්වා දී ආකර්ශනීය ශිර්ෂපාඨ පළකර සිය පුවත්පතේ අලෙවිය ඉහළ නංවගන්නා පුවත්පත් ආයතන කිසිවක හිමිකරුවන්ට හෝ කතුවරයන්ට එම වැරදි පුවත නිසා තම උපන් ගම තුලදීම බරපතළ ලෙස හිංසාවට ලක්වූ අසරණ ගුණා හා ඔහුගේ මව පිළිබඳව කිසිදු හැඟීමක් ඇති නොවන්නේ ඇයි? තමන්  කළ බරපතළ වැරැද්ද නිවැරදි කිරීම වෙනුවට, පවතින රජයට පක්ෂ "හෙළඋදාව" පුවත්පත් කතුවරයා "එහෙම කරන්න නං ඉහලින් නියෝගයක් එන්න ඕනා." යැයි කියන අතර වාමාංශික "ජනවීර" පුවත්පතේ කතුවරයා "එහෙම නිවැරදි කිරීමක් පළකිරීමෙන් අපේ පත්තරේට කිසි ප්‍රවෘත්ති වටිනාකමක් නෑනෙ." යැයි පවසයි. "හිරුරශ්මි" කතුවරයා මීට නොදෙවෙනිය. ඔහු අසන්නේ "ඔය correction එක අපේ headline එකේ ගියා කියමුකො. මොකක්ද එකෙන් අපේ පත්තෙරේට තියෙන benefit එක?" කියාය.





මාධ්‍යය විසින්ම උලුප්පා දක්වන "මාධ්‍යය ආචාරධර්ම" තියා අවම මනුසත් ගුණධර්ම පවා මාධ්‍යය ලෝකයේ නොමැති බව සිනමාකරුවන් දෙපල අපට කියා දෙති. ජනතාවට සත්‍යය හෙලිකිරීම මාධ්‍යය සතු සමාජ වගකීමකි. නමුත් සත්‍ය වශයෙන්ම සිදුවන්නේ කුමක්ද? සත්‍ය හෙළිකිරීමද, නැතහොත් මාධ්‍යය හිමිකරුවන්ගේ ආර්ථිකමය, පෞද්ගලික හා දේශපාලනික පරමාර්ථ මුදුන්පත් වන පරිදි පුවත් ඔපමට්ටම් කිරීම හෝ නැති පුවත් මවා පළකිරීම නොවේද?

පුවත්පතේ හිමිකරුවා කාර්යාලයට පැමිණි විට ප්‍රධාන කතුවරයා තම අසුනෙන් නැගිට ඔහුට ඉඩ සලසයි. එවිට එහි අසුන් ගන්නා හිමිකරු "ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 5.6ක් ණය  ආධාර" යන පුවතේ "ණය" යන පදය කපා  දමා එය හෙට පුවත්පතේ  ප්‍රධාන ශිර්ෂපාඨය විය යුතු බව පවසයි. මානුෂිකත්වය හමුවේ නම්‍යශීලි නොවන ප්‍රධාන කතෘ ප්‍රාග්ධනය ඉදිරියේදී අසරණ වේ.

තමන් නිසාම අසාධාරණයට ලක්වූ අසරණයන් වෙනුවෙන් පවා තම පුවත්පතේ අභිමානය පළුදු නොකර ගැනීමට උත්සුක වන ජනමාධ්‍යය, ලුයියාගෙන් අතුල් පහරක් හා පා පහරක් කෑ 'හිරුරශ්මි' පුවත්පතේ ප්‍රධාන කතෘ සෙනරත් ඉද්දමල්ගොඩ මහතා පිළිබඳව පුවත් මවන්නේ ඔහු සංවිධානාත්මක මැර ප්‍රහාරයකට ලක්වූ ලෙසක් හුවා දක්වමිනි. දේශපාලනික නොවන මේ පුද්ගලික ගැටුමක්, පොදුවේ ජනමාධ්‍යය වලට එල්ලවූ ප්‍රහාරයක් ලෙස විකෘති කරමින් පිටකොටුවේ උද්ගෝෂණ, රුපවාහිනියේ විද්වත් මත පළකිරීම්, පක්ෂ-විපක්ෂ දේශපාලකයන්ගේ උණුසුම් ප්‍රකාශ එළිදකින්නේ උණු කැවුම් ලෙසය. පුද්ගලික රෝහල් සුඛෝපභෝගී කාමරයක සුවෙන් සිටින ප්‍රධාන කතෘවරයා දුරකතනයෙන් සිය නිලධාරීන් අමතා පුවත්පතේ ශිර්ෂපාඨය වෙනස් කිරීමට අණ දෙන්නේ සිය බිරිඳගේ මුවගට සියුම් සිනහ රැල්ලක් නංවමිනි. "නියං ආධාර එනතුරු ජනතාව මහමග" ලෙස පළවීමට තිබූ මුල්පිටුවේ ශිර්ෂපාඨය "කතෘ බිරිඳටත් මරණිය තර්ජන!" ලෙස වෙනස් කෙරෙන්නේ වත්මන් මාධ්‍යය කලාවේ නිරුවත ඇස්පනාපිට හෙළි කරමිනි. 




ජනමාධ්යය, වෙළඳ සමාජය, පාතාලය හා දේශපාලනය ඇතුළු අප සමාජයේ විෂම පැතිකඩයන් කිහිපයක්ම සිනමාකරුවන් විසින් අප හමුවේ චිත්රණය කරද්දී, ඒ විසකුරු සමාජය තුලින්ම මතුවන සොඳුරු මනුෂ්යත්වයේ පිළිබිඹුවන් අතලොස්සක්ද අප හමුවේ ගෙනහැර පායි. තම වෘත්තීය වපසරියෙන් ඔබ්බට ගොස් ගුණා හා ලුවීගේ සහයට ඉදිරිපත්වන තරුණ පුහුණු මාධ්යවේදිනිය ඒ හේතුව නිසාම සිය රැකියාව අහිමි කරගනී. සිය රැකියාව අහිමිව තිබියදීත් ඇය ලුවීගේ නැතිවූ රේඩියෝව වෙනුවට අලුතෙන් එකක් ඔහුට තෑගී දීමට කටයුතු කිරීම සංකේතවත් කරන්නේ ඒ විරල මනුෂ්යත්වයයි. පුවත්පත් කතෘවරුන් සමග තර්ක කරමිනි, කෙසේ හෝ, කිසිකළෙක කිසිවිටකත් පළකරවාගනිමට නොහැකිවේ යැයි සිතූ 'නිවැරදි කිරීම' පුවත්පතක ශිර්ෂපාඨයේම පලකරවා ගැනීමට පොලිස් මාධ්යය ප්‍රකාශකවරයා ගන්නා වෙහෙස අපට කියාපාන්නේද ඒ සුන්දර මනුෂ්යත්වය තවම ඉතිරි වී ඇති බව නොවේද?




අසරණ ගුණාගේ හා නූගත් ලුයියාගේ මානව ගුණය මේ සියල්ලටම ඉහලින් ප්‍රේක්ෂකයා හදවත ගැඹුරින් සංවේදනය කරවයි. සිය මහලු මවගේ එකම බලාපොරොත්තුව ඉටුකර ඇයව සතුටුකිරීමේ එකම අරමුණින් ඈත එපිට ගල්ලෑල්ල ග්‍රාමයේ සිට තමන් නොදන්නා අගනුවරට පැමිණෙන අංගවිකල ගුණා සහ සිය අදායම් මාර්ගය පවා පසෙක දමමින් තම එකම මිතුරාගේ සහයට ඔහු සමඟ කොළඹ යාමට එක්වෙන නූගත් ලුයියා අප හට කියාදෙන අති සවේදී මිනිසත්කමේ කතාව ප්‍රේෂක සන්තානය කීරි ගස්සවයි.



සිනමාපටයේ අතිශයින්ම සංවේදී අවසානය ජවනකා පෙළින් පසුව සිනමාශාලාවේ අසුනින් නැගිටින්නේ ප්රේක්ෂකයා නැවතත් සිය සුපුරුදු සමාජයට එක්වන්නේ තම ජීවිතය හා සමාජය දෙසම අමුතුම මාදිලියේ නැවත හැරී බැලීමකින් පසුවය.


 

ගොඩනැගිලි සේවා වරළත් ඉංජිනේරු සුරන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ විධායක සභාවේ සාමාජිකයෙකි. ඔහු ගොඩනැගිලි සේවා ඉංජිනේරු අනුකමිටුවේ හිටපු සභාපතිවරයාය. වෘත්තියෙන් ගොඩනැගිලි සේවා අංශ ප්‍රධානි වරයෙකු හා හරිත ගොඩනැගිලි උපදේශකයෙකු වන සුරන් ප්‍රනාන්දු මහතා IESL ආයතනය මගින් පළකරනු ලබන Sri Lanka Engineering News (SLEN) සඟරාවේ සංස්කාරක වරයා ලෙස කටයුතු කරයි.





Facebook Twitter LinkedIn Email