\

ඛණිජ තෙල් ඉතිහාසය

ඉංජිනේරු ධනුෂ්ක නුවන් බණ්ඩාර විසිනි


ඛණිජ තෙල්

ඛණිජ තෙල් කියන්නේ මේ දවස්වල අපිට වැඩිපුර අහන්න දකින්න වෙන කාලයක්... X-PRESS Pearl නෞකාවෙන් බැර තෙල් කාන්දුවක් වුනොත් සමුද්‍ර පරිසර දූෂණයක් වෙයිද? සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් වැසි ජලයත් සමග පරිසරට එක් වූ තෙල් අඹතලේ ජල පොම්පාගරයට පැමිණියහොත් කොලඹට ජල සැපයුම් ලබා දීමේ ගැටලුවක් එයිද? .. මේ එයින් කිහිපයක්.. ඒක නිසා අප මෙවර කලාපයෙන් ඛණිජ තෙල් ගැන ටිකක කතා කරන්න හිතුවා.


ඛණිජ තෙල් ඉතිහාසය

විද්‍යාඥයන් විශ්වාස කරන ආකාරයට පෙට්‍රෝලියම් නිර්මාණය වී ඇත්තේ වසර මිලියන 600ක් පමණ කාලයේ සිට ශාක හා සත්ත්ව කොටස්, විශේෂයෙන් අන්වීක්ෂීය ප්ලවාංග පොළොව අභ්‍යන්තරයේ අධික තාපයට හා සම්පිඩනයකට ලක්වීමෙන්. 1556 දී පමණ “රොක්ඔයිල්” එහෙමත් නැත්නම් පෙට්‍රෝලියම් ගැන ප්‍රථමයෙන්ම සඳහන් වන්නේ ජර්මන් ජාතික ඛනිජ විද්‍යාඥ Georg Bauer විසින් ලියන ලද ශාස්ත්‍රීය නිබන්ධනයක. ඒ අනුව රොක් ඔයිල් විවිධ අණුක බර ඇති, තවත් සංයෝග එකතු වී ඇති හයිඩ්‍රෝකාබන මිශ්‍රණයන්ගේ සංකීර්ණයක් ලෙස පවතිනවා. පෙට්ට්‍රෝලියම් යන වචනය ඇසූ පමණින් අපගේ සිහියට නැගෙන්නෙ ද්‍රවයක් වන නමුත් Petroleum ඝන, ද්‍රව, වායු අවස්ථා තුනෙන්ම හමු වෙනවා. පෙට්‍රෝලියම් යන වචනය නිර්මාණය වෙන්නේ රොක් ඔයිල් යන වචනයට ලතින් බසින් අරුතක් දෙන නිසා..( “Rock” යන්න ලතින් බසින් “Petra” හා “Oil” ලතින් බසින් “Oleum” ලෙස එක්වීමෙන්). පෙට්‍රෝලියම් ගැන මිනිසාගෙ දැනුම හා භාවිතය මීට වඩා ගොඩාක් අතීතයට දිව යනවා. ඒ ගැන කෙටියෙන් විමසමු.


1859 ට පෙර යුගය

බොරතෙල් සහ එහි වඩාත් දුස්‍රාවී ස්වරූපය වන Bitumen නැත්නම් Asphalt ස්වභාවිකවම වසර දහස් ගණනක් තිස්සේ පොලොවේ ඇති ඉරිතැලීම් වලින් පෘථිවි පෘෂ්ඨයට පැමිණුනා. මීට වසර 5,000 කට පමණ පෙර, පුරාණ සුමේරියානුවන්, ඇසිරියානුවන් සහ බබිලෝනිවරුන් මෝටාර් හා ජල ආරක්ෂණ සඳහා ඇස්ෆල්ට් භාවිතා කළ අතර පුරාණ ඊජිප්තුවරුන් ඖෂධීය අරමුණු සඳහා සහ එම්බාම් කිරීම සඳහා දියර තෙල් භාවිතා කළ හැකි බව දැන සිටියා. උතුරු ඇමරිකාවේ ස්වදේශික ඇමරිකානුවන් තාර, මැලියම් ලෙස භාවිතා කළ අතර ලී හසුරුවලට ගල් ආයුධ බැඳ තබන්න යොදා ගත්තා. ලිහිසිකරණයට, ඉන්ධන ලෙස, ජල ආරක්ෂණය ආදී ඇතුළු විවිධ අරමුණු සඳහා වර්තමානය තෙක් ඛණිජ තෙල් අඛණ්ඩව මිනිසුන් විසින් භාවිතා කරනවා.


  • § 480 BC : පර්සියන් හමුදා ඇතැන්ස් නගරයය ආක්‍රමණය කිරීමේදී Oil-Soaked Flaming Arrow භාවිතය
  • § 347 AD: චීන ජාතිකයන් විසින් උණ බම්බු යොදාගෙන අඩි අටසීයක් පමණ ගැඹුරු තෙල් ලිං හැරීම
  • § 13 සියවසේදි: නූතන අසර්බයිජානයේ කැස්පියන් මුහුදේ වෙරළ තීරයේ පිහිටි බකු කලාපයට ගිය ඉතාලි ගවේෂක මාකෝ පෝලෝ, එහි දේශීය ජනයා තෙල් කාන්දු (Oil Seeps) වලින් තෙල් එකතු කරන බව සටහන් කරනවා. "ජෝර්ජියානු දේශ සීමාව ආසන්නයේ සිට බහුල ලෙස තෙල් ගලා බසින උල්පතක් ඇත, එහි නැව් සියයක් උව එකවර එහි පැටවිය හැකිය." ලෙසද ඔහු සටහන් තබා තියෙනවා.
  • § 1539 : ශුද්ධ වූ රෝම අධිරාජ්‍යයා වන පස්වන චාල්ස් සඳහා රක්තවාතයට ප්‍රතිකාරයක් ලෙස සලකා වෙනිසියුලාවෙන් තෙල් අපනයනය කල බව පැවසෙනවා
  • § 1556 : “රොක්ඔයිල්” ගැන ප්‍රථමයෙන්ම ජර්මන් ජාතික ඛනිජ විද්‍යාඥ Georg Bauer විසින් ලියන ලද ශාස්ත්‍රීය නිබන්ධනයක සදහන් කරනවා
  • § 1755: ලුවිස් එවාන්ස්ගේ “ඇමරිකාව තුල බ්‍රිතාන්‍ය යටත් විජිතවල සිතියම” තුල පෙන්සිල්වේනියාවේ ඛනිජ තෙල් පවතින බව වාර්තා කර තිබෙනවා.
  • § 1815: පෙට්‍රෝලියම් ලාම්පු භාවිතයෙන් ප්‍රාග්හි වීදි කිහිපයක් ආලෝකමත් කරනු ලබනවා.
  • § 1849: කැනේඩියානු භූ විද්‍යාඥ ඒබ්‍රහම් ගෙස්නර් ඛනිජ තෙල් වලින් නව ලාම්පු ඉන්ධනයක් ආසවනය කරන ලද අතර එය භූමිතෙල් ලෙස හැඳින්වූවා. මෙම නව ලාභදායී, පිරිසිදු දැවෙන ඉන්ධන නිසා ලාම්පු වලට තල්මසුන්ගේ තෙල් යොදා ගැනීම නතර වුනා. ගෙස්නර්, ඔහුගේ සොයාගැනීමෙන් කිසි විටෙකත් ධනවත් වුනේ නෑ, නමුත් පසුව ඔහු "ඛනිජ තෙල් කර්මාන්තයේ පියා" ලෙස හඳුන්වනු ලැබුවා. ඔහුගේ නව නිපැයුම නිසා තල්මසුන් බේරා ගැනීමට උපකාර කළ බවට ඔහුට ගෞරවය හිමි වුණා.


“ඛනිජ තෙල් කර්මාන්තයේ පියා" ලෙසින් නම් කල භූ විද්‍යාඥ ඒබ්‍රහම් ගෙස්නර් සමරනු වස් නිකුත් කල කැනේඩියානු තැපැල් මුද්දරයක්


1859-1929


1858 දී කැනඩාවේ ඔන්ටාරියෝ සහ 1859 දී එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ ටයිටස්විල් හි පළමු තෙල් ළිං කැණීමත් සමග ඛනිජ තෙල් පිරිපහදු කිරීම කිරීම ආරම්භ වුණා. ඊට පෙර පෙට්‍රෝලියම් ලබා ගත හැකි වූයේ ස්වභාවිකව ඉතා සුළු ප්‍රමාණයකින්. වයඹදිග පෙන්සිල්වේනියාවේ “රොක් ඔයිල්” සොයා ගැනීමත් සමඟ, මහා පරිමාණ සැකසුම් පද්ධති සංවර්ධනය කිරීම සඳහා බොරතෙල් ප්‍රමාණවත් තරම් ලබා ගත හැකි වුණා. මුල් කාලීන පිරිපහදුවල ඛණිජ තෙල්වල විවිධ සංඝටක වෙන් කිරීම සඳහා සරල ආසවනය ක්‍රම තමා භාවිතා වුනේ. මුලදී මූලික නිෂ්පාදනය වූයේ භූමිතෙල්. එය තල්මසුන්ගේ තෙල් හෝ සත්ව මේදයට වඩා ගුණාත්මක බවින් යුත් වඩා පිරිසිදු, දැවෙන ලාම්පු තෙල් බවට පත් වුණා.

තෙල් කැණීමේ තාක්ෂණය ඉක්මනින් රුසියාවට ව්‍යාප්ත වූ අතර 1890 වන විට පිරිපහදුවලින් භූමිතෙල් සහ ඉන්ධන තෙල් විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය වෙන්න පටමන් ගත්තා. 19 වන ශතවර්ෂයේ අවසාන වසරවල අභ්‍යන්තර දහන එන්ජිම සොයාගැනීමත් සමග බොරතෙල් නැප්තා සඳහා කුඩා වෙළඳපොළක් නිර්මාණය වුනා. නමුත් 20 සියවස ආරම්භයේදී මෝටර් රථයේ දියුණුව නිසා ගුණාත්මක පෙට්‍රල් සඳහා ඇති ඉල්ලුම තියුණු ලෙස වැඩි වූ අතර, ඒ සමගම බොරතෙල් අඛණ්ඩව ආසවනය කිරීමේ ක්‍රම දියුණු වෙන්න පටන් ගත්තා.


1930-1974


1910 න් පසු මෝටර් රථ ඉන්ධන සඳහා ඇති ඉල්ලුම භූමිතෙල් සඳහා වන වෙළඳපල අවශ්‍යතා ඉක්මවා යාමට පටන් ගත් නිසා, පෙට්‍රල් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා නව තාක්ෂණයන් දියුණු කිරීමට මිනිසුන්ට සිදු උනා. නව තාක්ෂණය මත පදනම් වූ ඉරිතැලීම් ක්‍රියාවලිය මඟින් නිපදවන ලද පෙට්‍රල්, සෘජු ඛනිජ තෙල් ආසවනය කිරීමෙන් ලබාගත් පෙට්‍රල් වලට වඩා මෝටර් රථ එන්ජින්වල හොඳින් ක්‍රියා කරා. 1930 ගණන්වල අග භාගයේදී වඩාත් බලවත් ගුවන් යානා එන්ජින් නිෂ්පාදනය ආරම්භ වීමත් සමග පෙට්‍රල්වල දහන ලක්ෂණ වැඩි කිරීමේ අවශ්‍යතාවයක් ඇති වූ අතර එන්ජින් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා ඊයම් මත පදනම් වූ ඉන්ධන ආකලන නිපදවීමට එය හේතු වුනා.

1930 හා දෙවන ලෝක යුද්ධ සමයේදී, උත්ප්‍රේරක භාවිතය සම්බන්ධ නවීන පිරිපහදු ක්‍රියාවලි මගින් ප්‍රවාහන ඉන්ධනවල ගුණාත්මකභාවය හා ප්‍රමාණය තවදුරටත් වැඩිදියුණු කරනු ලැබුවා. Alkylation, Polymerization, සහ Isomerization වැනි වැඩිදියුණු කළ ක්‍රියාවලීන් නිසා ඉහළ කාර්යසාධනයක් සහිත ප්‍රහාරක ගුවන් යානා වල ඉන්ධන අවශ්‍යතා සපුරාලීමට හැකි වූ අතර, යුද්ධයෙන් පසු වැඩි වශයෙන් ප්‍රවාහන ඉන්ධන නිෂ්පාදනය පෙලඹුනා.

1950 සහ 60 දශකවල ජෙට් ඉන්ධන සහ උසස් තත්ත්වයේ ලිහිසි තෙල් සඳහා විශාල පරිමාණයේ ඉල්ලුමක් ඇති වුන අතර නව තාක්ෂණය එම ඉල්ලුම සපුරාදීමට තරම දියුණුවට පත් වුනා.


1975 ට පසු


1970 වන විට ඛනිජ තෙල් පිරිපහදු කර්මාන්තය ලොව පුරා හොඳින් ස්ථාපිත වී තිබුන අතර ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා පිරිපහදු කළ යුතු බොරතෙල් වසරකට ටොන් බිලියන 2.3 කට (දිනකට බැරල් මිලියන 40 ක්) ළඟා වුනා. කෙසේවෙතත්, මෙම අධි නිෂ්පාදන ක්‍රියාවලිය මගින් වන පරිසර දූෂණය හා බලපෑම නිසා, ඛනිජ තෙල් පිරිපහදු කිරීමේ කර්මාන්තයේ යම් වෙනසක් කිරීම සඳහා මිනිසුන්ගෙ මූලික අවධානයක් යොමු වන්න පටන් ගත්තා. තෙල් නිෂ්පාදනය කරන්නන් තම නිෂ්පාදන වලින් සල්ෆර් සංයෝග ලබා ගැනීම උනන්දු වූ අතර මූලද්‍රව්‍ය සල්ෆර් විශාල ප්‍රමාණයක් ජනනය කිරීමට පටන් ගත්තා. මීට අමතරව, බොහෝ පිරිපහදු කළ නිෂ්පාදන වල ගුණාත්මකභාවය පරීක්ෂාවට ලක් කිරීමේ ක්‍රමද ඇති වෙන්න පටන් ගත්තා. ඊයම් සහිත නිෂ්පාදන මගින් ඇතිවන සෞඛ්‍ය ගැටළු හදුනාගැනීම නිසා 1970 දශකයේ මැද භාගයේ සිට, එක්සත් ජනපදයත්, පසුව ලොව පුරා අනෙකුත් රටවලුත් ඊයම් ආකලන භාවිතා නොකර උසස් තත්ත්වයේ පෙට්‍රල් නිපදවීමේ ක්‍රමවේදයන් සකස් කිරීමට උනන්දු වුනා. 1990 දශකයේ ආරම්භයේ සමග නිෂ්පාදකයින් සැලකිය යුතු වශයෙන් ඒ සදහා ආයෝජන සිදු කිරීමට පටන් ගත්තා. 2019 වන විට දිනකට බැරල් මිලියන 100.66 ක් නිශ්පාදනය වූ අතර කොරෝන ව්‍යාප්තියේ බලපෑමත් සමග එය 2020 වන විට දිනකට බැරල් මිලියන 94.22 ක් බවට පත් වුනා.

ඈත අතීතයේදී භූමිතෙල් පමණක් තනි නිෂ්පාදනයක් ලෙස ලබාගෙන පැවතුණු පෙට්‍රෝලියම් කර්මාන්තය අද වන විට, ලෝකයේ වඩාත්ම දැඩි ලෙස නියාමනය කරන ලද මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්තයක් බවට පත්ව තිබෙනවා.


ඛණිජ තෙල් කර්මාන්තය

ඛණිජතෙල් නිෂ්පාදනවලට පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන, නෞකා ඉන්ධන, උදුන් තෙල්, ද්‍රව පෙට්‍රෝලියම් වායුව ඇතුළත් වන අතර ඛණිජතෙල් සම්පත්වලට ස්වාභාවික, ද්‍රව, වායුමය, ඝණ, අර්ධ ඝණ ආකාරයේ බොර තෙල්, ස්වාභාවික වායු ද ඇතුළත් වනවා.

වර්තමානයේ ඛණිජතෙල් තාක්ෂණය පහත ක්‍රියාකාරකම්වලින් දක්නට පුලුවන්.


  • ඛණිජතෙල් නිෂ්පාදන හෝ ඛණිජතෙල් සම්පත් ආනයනය කිරීම සහ අපනයනය කිරීම
  • ඛණිජ තෙල් සම්පත් පිරිපහදු කිරීම සහ මිශ්‍ර කිරීම හෝ ඛණිජතෙල් නිෂ්පාදන නිපදවීම
  • ඛණිජතෙල් නිෂ්පාදන හෝ ඛණිජතෙල් සම්පත් ගබඩා කිරීම, බෙදා හැරීම සහ ප්‍රවාහනය කිරීම
  • ඛණිජතෙල් නිෂ්පාදන තොග වශයෙන් සහ සිල්ලරට විකිණීම

ලොව ද්‍රව ඉන්ධන නිෂ්පාදනය හා භාවිතාව අතර විචලනය


ඛනිජ තෙල්වල සංයුතිය


බොරතෙල් හි ඇති හයිඩ්‍රොකාබන අතර ඇල්කේන , සයික්ලොඇල්කේන සහ විවිධ ඇරෝමැටික හයිඩ්‍රොකාබන වන අතර අනෙකුත් කාබනික සංයෝග ලෙස නයිට්‍රජන්, ඔක්සිජන් සහ සල්ෆර් සහ ඉතා සුළු වශයෙන් යකඩ, නිකල්, තඹ, වැනේඩියම් යන ලෝහවලින් ද සමන්විත වනවා. නිෂ්චිත අණුක සංයුතිය සංයෝගයෙන් සංයෝගයට ඉතා විශාල වශයෙන් වෙනස් වන අතර රසායනික ද්‍රව්‍යයන්ගේ අනුපාතය තරමක් යම් සීමාවන් අතර පිහිටනවා.



බර අනුව සංයුතිය

මූලද්‍රව්‍ය ප්‍රතිශතය
කාබන් 83 සිට 87% දක්වා
හයිඩ්‍රජන් 10 සිට 14% දක්වා
නයිට්‍රජන් 0.1 සිට 2% දක්වා
ඔක්සිජන් 0.05 සිට 1.5% දක්වා
සල්ෆර් 0.05 සිට 6.0% දක්වා
ලෝහ < 0.1%

බොරතෙල්හි පෙනුම එහි සංයුතියට අනුව විශාල වශයෙන් වෙනස් ආකාරයෙන් දක්නට ලැබෙනවා. සමාන්‍යයෙන් ඒවා කළු හෝ තද දුඹුරු පාට ලෙසයි පවතින්නෙ. ඇතැම් විට කහ පැහැයෙන් තද කොළ පැහැයෙන්ද පවතින්න පුලුවන්.



ලංකාවේ ඛනිජ තෙල් නිධි වල පිහිටීම හා කැණීම් කටයුතු ගැන, ඛනිජ තෙල් නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත මගින් පරිසරය වන බලපෑම, එහි අනාගතය ගැන අපි මීලග කලාපයෙන් කතා කරමු.

 

Eng. Dhanushka Nuwan Bandara

Experienced Electrical Engineer with a demonstrated history of working in the oil & energy industry. Skilled in AutoCAD, Matlab, Power Systems, Engineering, and Embedded Systems. Strong engineering professional with a Bachelor of Science (BSc) focused in Electrical and Electronics Engineering from University of Peradeniya.

 

 

Facebook Twitter LinkedIn Email Print