IESL ඉංජිනේරුවන්ගෙන් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ
කොවිඩ් -19 වාට්ටු සඳහා ඔක්සිජන් සැපයුම් පද්ධතියක්

යාන්ත්‍රික ඉංජිනේරු කමිටුව (MESC) සහ ගොඩනැගිලි සේවා ඉංජිනේරු කමිටුව (BSESC) විසින්

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) ඉංජිනේරුවන් විසින් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් -19 රෝගී වාට්ටු දෙකක් සඳහා නිර්මාණය කළ නව ඔක්සිජන් සැපයුම් පද්ධතිය පසුගිය ජුනි 18 වන දින එම රෝහල් පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති ඉංජිනේරු, කේ. පී. අයි. යූ. ධර්මපාල, තෝරා පත්කරගත් සභාපති, ඉංජිනේරු අර්ජුන මනම්පේරි, හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය සුරංග උබේසේකර පාර්ශවකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පත් කරන ලදී.



එම රෝහලේ කොවිඩ් -19 වාට්ටු දෙක සඳහා මෙතෙක් පැවතී බරපතළ අඩුපාඩුවක් වූ ඔක්සිජන් සැපයුම් පද්ධතියක අවශයතාවය හේතුකොටගෙන, රෝහලේ අධ්‍යක්ෂක තුමා විසින් කරන ලද ඉල්ලීමකට අනුව, IESL හි යාන්ත්‍රික ඉංජිනේරු කමිටුව (MESC) සහ ගොඩනැගිලි සේවා ඉංජිනේරු කමිටුව (BSESC) විසින් මෙම ව්‍යාපෘතිය සිදුකිරීමේ පූර්ණ වගකීම බාරගන්නා ලදී. සති 3 කටත් අඩු කාලයක් තුළදී රෝහලේ කොවිඩ් -19 වාට්ටුවල ඇඳන් 30 ක් සඳහා ඔක්සිජන් සැපයුම ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ඉංජිනේරුවන් සමත් විය මහත් විස්කමකි.

අදියර දෙකකින් සමන්විත වූ මේ ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස එක් වාට්ටුවක් සඳහා ඔක්සිජන් සැපයුම ජුනි 8 වන දින රෝහලට භාරදෙන ලදී. දෙවන වාට්ටුවේ ඔක්සිජන් සැපයුම් පද්ධතිය ජුනි 18 වන දින අවසන් කරන ලදී. ඔක්සිජන් සැපයුම් පද්ධතියේ වටිනාකම රු. 1,750,000/= ක් වන අතර IESL හි අනුකමිටු දෙක සඳහා වාර්ෂිකව වෙන්කරන ප්‍රතිපාදන හා IESL සාමාජිකයන්ගේ නොමසුරු ආධාර හරහා මේ ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලදී.

කොරෝනා වසංගතයේ පළමු හා දෙවන රැළි වලදී සෞඛ්‍ය සේවා ශ්‍රම බලකායට සහය දැක්වීම සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) ඉංජිනේරුවන් මෙවරත් ඔවුන්ගේ සහය කොවිඩ් මර්ධනය සඳහා ලබා දීමට පෙළඹීම අගය කළ යුතුය.



කොරෝනා වයිරසයේ නව හා භයානක ප්‍රභේද කිහිපයකටම එකවර ශ්‍රී ලංකාව නිරාවරණය වීමෙන් මෙරට රෝගීන්ගේ සංඛ්‍යාව ඉතාමත් වේගයකින් ඉහළ යාම නිසා සෑම ප්‍රදේශයකම වෛද්‍ය යටිතල පහසුකම් අභියෝගයට ලක්ව තිබේ. එවන් පසුබිමක් යටතේ දී IESL ආයතනයේ ඉංජිනේරු කණ්ඩායම හම්බන්තොට රෝහලේදී සිදුකළ මේ මිල කළ නොහැකි දැවැන්ත සද්කාර්යය නිසා දකුණු පළාතේ සිය දහස් ගණනක් වූ ජනතාවට මහත් අස්වැසිල්ලක් හිමි වූ බව නම් සැකයක් නැත. සිය ජිවිත අවදානම පවා නොතකා මේ සඳහා කැපවුන ඉංජිනේරු කණ්ඩායමටත්, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයටත් ජාතියේ ප්‍රණාමය අවිවාදයෙන්ම හිමි විය යුතුය.




Facebook Twitter LinkedIn Email Print