සිංහල ජනප්‍රිය සංගීතයේ අකාලික සන්නාමය
ඉංජිනේරු සුරන් ප්‍රනාන්දු විසිනි
සිංහල ජනප්‍රිය ගීතයේ ගමන් මඟ සහ ක්ලැරන්ස් සලකුණ
සංගීතය හා භාෂාව එකිනෙක මුසුව බිහිවන ගීතය, ජනතා සන්තානයට ඉතා සමීප කලා මාධ්‍යයකි. කියවා රසවිඳින කවියට වඩා, අසා ගයා රසවිඳින ගීතය ලාංකීය සමාජයේ ගැඹුරට මුල් බැස ගත්තේ එහි ඇති සරලකම, මතකයේ රැඳෙන බව සහ නැවත ගායනා කළ හැකි ජීවමාන ගුණය නිසාය. එහෙත් සිංහල ගීතයේ ජනප්‍රියත්වය යනු හුදු රසවින්දනයම පමණක් මුල්කොටගත් කාරණයක් නොවේ. එය නාට්‍ය වේදිකාව, ග්‍රැමෆෝන් තැටිය, ගුවන්විදුලිය, කැසට් වෙළෙඳපොළ, වේදිකා ප්‍රසංගය සහ පසුව ඩිජිටල් මාධ්‍යය දක්වා විහිදුණු පුළුල් හා අනවරත සමාජ-තාක්ෂණික ගමනක සජීවී පිළිබිඹුවකි.
සිංහල ගීතය සරලව ගත් කල ජන ගීත, ජනප්‍රිය ගීත සහ සුභාවිත ගීත ලෙස වෙන් කළ හැක. මේ අතරින් විද්වත් අවධානයට හා පිළිගැනීමට අඩුවෙන් ලක් වූ මාදිලියක් වේ නම්, ඒ ජනප්‍රිය ගීතයයි. එය බොහෝ විට “බජව් සංගීතය”ලෙස පහත් කොට සැලකුණි. මුල් යුගයේදී විදග්ධ විචාරක ප්‍රජාව විසින් ජනප්‍රිය සංගීත කණ්ඩායම් හැඳින්වූයේ “සංගීත කල්ලි”ලෙස අපහාසාත්මකවය. නමුත් ජනතාවගේ දෛනික ජීවිතය, ජවසම්පන්න තරුණ ආකල්ප, මධ්‍යම පන්තියේ ආශා හා සීමා, සහ නව තාක්ෂණික නාද ලෝකය වඩාත් ජීවමාන ලෙස ග්‍රහණය කරගනු ලැබුවේ ජනප්‍රිය ගීතය බව නොරහසකි.
විසිවැනි සියවසේ මැද භාගය වන විට සිංහල ජනප්‍රිය සංගීතය ධ්‍රැවීගත කඳවුරු දෙකකට අතරමැදිව පැවතියේය. එක් පසකින් බටහිර පොප්, රොක්, කැලිප්සෝ හා බයිලා ආභාසය; අනෙක් පසින් උත්තර භාරතීය රාගධාරී සංගීතයේ බලපෑම සහ ගුවන්විදුලිය ආශ්‍රිත සුභාවිත රස විනිශ්චය. මේ කඳවුරු දෙක අතර පිහිටි, බටහිර හෝ ඉන්දීය සම්ප්‍රදායන්ට නතු නොවූ, නූතන හා ජනප්‍රිය සිංහල සංගීතයක් උදෙසා පැහැදිලි හිඩැසක් පැවතුණි. සිංහල පදමාලාව හා නවමු සංගීත සංකලනය ඔස්සේ එම හිඩැස නිසි ලෙස පුරවා, කණ්ඩායම් සංගීතයේ තරුණ ජවයට උචිත වූ ජනප්‍රිය ආකෘතියක් ලබාදුන් ප්‍රධානතම හා තීරණාත්මක නිර්මාණකරුවා වන්නේ ක්ලැරන්ස් විජේවර්ධනයි.
ක්ලැරන්ස්ගේ විප්ලවීය කාර්යභාරය වූයේ, බයිලා සහ කැලිප්සෝ ආදී ජනප්‍රිය සංගීත ආකෘති විදග්ධ සංගීත පරපුර විසින් පහත් කොට සැලකුණු පසුබිමක, ඒවා නිර්මාණශීලී ලෙස ප්‍රතිනිර්මාණය කිරීමය. ජෝතිපාල, නිහාල් නෙල්සන් ආදී සමකාලීන ජනප්‍රිය ගායක පරපුරට එල්ල වූ විදග්ධ විචාරක විවේචනය, ගුණාත්මක සංගීත භාවිතයක් අනුගමනය කළ කැලිප්සෝ සංගීත කණ්ඩායම් වෙතද යම් ප්‍රමාණයකින් එල්ල විය. එසේ වුවද, ක්ලැරන්ස්ගේ පුළුල් ජනප්‍රියත්වය සහ නිර්මාණාත්මක අනන්‍යතාවය නිසා, ඔහුගේ සංගීතය එම පහත් කිරීමේ භාෂාව තුළ යටපත් කර දැමීම විචාරකයන්ට පහසු නොවීය.
කැලිප්සෝවෙන් සිංහල පොප් සංගීතයට
1950-60 දශකවලදී ලොව පුරා බටහිර පොප් හා රොක් සංගීතයේ ප්‍රමුඛ සංකේතයක් වූයේ ගිටාරයයි. එය එවකට තරුණ පරපුරේ ආකර්ෂණීය සංගීත මෝස්තරයක් ලෙස ලොව පුරා පැතිර ගියේය. ලංකාවේද මුහුදුකර නගර, හෝටල්, සම්භාෂණ හා සමාජ උත්සව ආශ්‍රිතව බොක්ස් ගිටාර්, කොංගා, ඒකෝඩියන්, ටැම්බරින් වැනි සීමිත වාද්‍ය භාණ්ඩ භාවිත කළ කැලිප්සෝ කණ්ඩායම් ජනප්‍රිය වෙමින් තිබුණි. නමුත් එකල එම සංගීත සම්ප්‍රදාය, ස්ථාවර සිංහල ජනප්‍රිය සංගීත ආකෘතියක් බවට පත්ව නොතිබුණි. බොහෝ කණ්ඩායම් සමාන්තර බහු ගායනය, සරල තාල රටා සහ විනෝදාත්මක ප්‍රසංග සීමාවන් තුළම රැඳී සිටියෝය.
මෙම පසුබිම තුළ ක්ලැරන්ස්ගේ වැදගත්කම වන්නේ ඔහු කැලිප්සෝව හෝ බටහිර පොප් සංගීතය එලෙසින්ම අනුකරණය නොකිරීමයි. ඔහු එයින් උකහා ගත්තේ තරුණ ජවය, ගිටාරයේ රිද්මය සහ වේදිකා ආකර්ෂණයයි. නමුත් ඒවා සිංහල භාෂාවේ කතාමය ස්වභාවය, දෛනික ජීවිතයේ සරල නාට්‍යමය රසය, සහ ලාංකීය මධ්‍යම පන්තික ශ්‍රාවකයාගේ රසවිඳීම සමඟ මුහුකර, නව සිංහල පොප් භාෂාවක් බවට හැඩගැස්වීම ඔහුගේ නිර්මාණශීලීත්වයේ තීරණාත්මක සාධකය විය.
The Moonstones: ක්ලැරන්ස් සලකුණේ ආරම්භය
ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීත චාරිකාවේ පළමු ප්‍රමුඛ කඩඉම් සලකුණ වන්නේ The Moonstones සංගීත කණ්ඩායම පිහිටුවා ගැනීමයි. ඔහු The Moonstones පිහිටුවන්නේ තම මිතුරු ඇනස්ලි මාලේවන ප්‍රධාන ගායකයා කරගනිමිනි. එම කණ්ඩායමේ ගීත, එකල පැවති සෙසු ජනප්‍රිය සංගීත කණ්ඩායම්වලට වූවා සේම, සිංහල ගුවන්විදුලියෙන් ප්‍රතික්ෂේප විය. එනමුත්, ඔවුන්ගේ ගී සඳහා 1966 දී Radio Ceylon ඉංග්‍රීසි සේවයේ Saturday Star වැඩසටහනෙහි ඉඩකඩ විවර වීම නිසා නාගරික සමාජය තුළ ඔවුන්ගේ ගීත ප්‍රචලිත විය. 1968 දී නිකුත් වූ “මංගො නැන්දා” EP තැටියට “මංගො නැන්දා”, “රුවන් පුරය”, “සීත උදේ” සහ “මැණිකේ” යන මනහර ගීත ඇතුළත් වූ අතර, 1969 දී ඉන්ද්‍රානි පෙරේරා කණ්ඩායමට එක්වීමත් සමඟ, “දිල්හානි දුවණි” වැනි ගීත හරහා The Moonstones විශාල ජනප්‍රියත්වයකට හිමිකම් කීවේය.
මෙම යුගයේදී ක්ලැරන්ස් ඉදිරියට එන්නේ මුලින්ම ගායකයෙකු ලෙස නොව, ගීත රචකයෙකු, තනු නිර්මාණකරුවෙකු සහ සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙසය. පාසල් සමයේ සිටම ඔහු සරල වචනවලින් මතකයේ රැඳෙන කවි හා සංගීත තනු ගොඩනඟන්නට ආශාවක් දැක්වූ බවත්, ගම්බද ජීවිතය ඔහුගේ මුල් නිර්මාණවලට පදනම් වූ බවත් පැහැදිලිය. මේ නිසා The Moonstones යුගයේ ගීතවල ඇති වැදගත්කම වන්නේ ඒවා හරහා නව නාද රටාවක් හා රිද්මයක් හඳුන්වා දී, නව ගායක පරපුරක් ඉදිරියට ගෙන ඒම සහ සිංහල පදමාලාවලට එතෙක් නොවූ විරූ ජනප්‍රියත්වයක් ළඟා කරදීමයි.
“මංගො”, “රුවන් පුරය”, “කළු මාමා”, “දිල්හානි” වැනි ගීතවලින් හමුවන්නේ සම්භාව්‍ය සංගීතමය ගැඹුරට වඩා, මතකයේ රැඳෙන තනුව, සරල පදමාලාව සහ වේදිකාවටත්, ගෙදර දොරේ ගායනයටත් ගැළපෙන රිද්මයකි. ක්ලැරන්ස් ජනප්‍රිය ගීතයේ එම සමාජීය භාවිතය ඉතා ඉක්මනින් හඳුනාගත්තේය.
Golden Chimes: තනු, පද සහ ලීඩ් ගිටාර් හැඩතල
Moonstones යුගයෙන් පසු, 1969–70 අවධියේ “Breakaways from the Moonstones” ලෙස පෙනී සිටි ක්ලැරන්ස්, චානක පෙරේරා, විජිත් පීරිස් හා පසුව ඩික්සන් ගුණරත්න සමඟ Golden Chimes නාමය යටතේ නව සංගීත
පරිච්ඡේදයක් ආරම්භ කළේය. 1971 දී එම කණ්ඩායමේ “කිමද නාවේ” EP තැටිය නිකුත් වීම එහි ප්‍රමුඛ සලකුණකි. පසුව ඔවුන් හා එක් වූ අනිල් භාරති වෙනුවෙන් “අද වෙයි ඉරු දින”, “බෙත්ලෙහෙම් පුරේ”, “ටිකිරි මලී” ආදී ගීත ක්ලැරන්ස් අතින් නිර්මාණය වන්නේද මේ
Golden Chimes යුගයේදීය. මේ අවධියේදී ඩික්සන් ගුණරත්න කණ්ඩායමේ ලීඩ් ගිටාරය මෙහෙය වූ අතර, “කිමද නාවේ”, “මගේ පැල්පතේ”, “සිහින් සිනාවයි”, “සමනලයෝ, “මුහුදු රැල්ල” වැනි ගීත නිර්මාණ ලෝකයට හඳුන්වා දෙන ලදි.
The Golden Chimes යුගයේ ක්ලැරන්ස්ගේ සංගීතය තවදුරටත් සරල කණ්ඩායම් ගායනයක් නොව, ගීතය තුළ ලීඩ් ගිටාරයට ආවේණික භූමිකාවක් ලබාදෙන සංගීත සංයෝජනයක් බවට පරිවර්තනය විය.
මෙහිදී ඩික්සන් ගුණරත්නගේ දායකත්වය අතිශයින් වැදගත්ය. එතෙක් කල් සිංහල ගීතවලට එක්ව නොතිබූ, සමහර බටහිර පොප් හා ජෑස් ගීතවල හමුවන, විදුලි ගිටාර් තතින් මැවෙන මනහර හැඩතල ක්ලැරන්ස්ගේ ගීතවලට එක් වූයේ ඩික්සන්ගේ නිර්මාණශීලී අත්හදා බැලීම් සමඟය. “ගුඳ ගුඳ ගුඳ - තකිත තකිත” යන සිංහල බෙර පද තාලය ලීඩ් ගිටාරයෙන් මැවූ “සුරඟන වෙස් වලා” ගීතය බිහි වන්නේ මේ යුගයේදීය. ගීතය තුළ පූර්ව වාදනය සහ අන්තර් වාදනය අලංකාර අතිරේකයක් නොව, ගීතයේ මතකය තීරණය කරන සංගීත සලකුණක් බවට පත් විය.
“මලට බඹරෙකු සේ”, “කිමද නාවේ”, “අද වෙයි ඉරු දින” වැනි ගීතවල පද මාලාව සරල වුවද, ගිටාරය, රිද්මය, කටහඬ සහ අන්තර් වාදන එකට එක්ව නිර්මාණය කළ ශබ්ද ලෝකය නවතාවයෙන් අනුන විය. මෙය සිංහල ජනප්‍රිය ගීතයට නව ශ්‍රව්‍ය අනන්‍යතාවයක් ලබාදුන් අවස්ථාවකි.
Super Golden Chimes: සිංහල පොප් සංගීතයේ පූර්ණත්වය
1972–73 අවධියේදී ක්ලැරන්ස්, ඩික්සන් ගුණරත්න සහ ඇනස්ලි මාලේවන සමඟ Super Golden Chimes පිහිටුවීම ඔහුගේ සංගීත ආකෘතියේ පූර්ණත්වය සනිටුහන් කරයි. Super Golden Chimes 1970 සහ 1980 දශකවල ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය කණ්ඩායම් අතරට පත්වූ අතර, ගුවන්විදුලියේ, මුලින් Radio Ceylon හා පසුව SLBC, සිංහල සහ ඉංග්‍රීසි සේවා දෙකෙහිම ඉහළ ජනප්‍රියත්වයක් ලබාගත්තේය.
මෙම යුගයේදී ක්ලැරන්ස්ගේ සංගීතයේ කේන්ද්‍රය ගිටාරය බවට පත්වේ. රිදම් ගිටාරයෙන් ගීතයට රිද්මය ලබාදෙන ක්ලැරන්ස් සහ ලීඩ් ගිටාරය මඟින් සංගීත සිතුවම් මවන ඩික්සන් එකට එක් වූ විට, සිංහල ගීතයේ ශබ්දමය මාධුර්යය වෙනමම තලයකට ඔසවා තබනු ලැබීය. “සිහින ලොවක්”, “දිලීප පොඩි පුතු” වැනි ගීතවල ගිටාරය මඟින් මවනු ලබන සංගීත චමත්කාරය ඒ අතුරින් සුවිශේෂීය.
මෙහි ඇති වැදගත්කම වන්නේ ක්ලැරන්ස් තාක්ෂණය හුදෙක් සංගීතය නවීකරණය කිරීම සඳහා පමණක් භාවිත නොකිරීමයි. ඔහු එය ගීතයේ රසවත් බව ඔප් නැංවීමට යොදාගන්නා මෙවලමක් ලෙස පාලනයකින් යුතුව උපයෝගී කර ගත්තේය. ඉලෙක්ට්‍රික් ගිටාර්, ඔර්ගන්, ඩ්‍රම් සෙට්, ශබ්දාගාර හා වේදිකා ශබ්දවාහිනී යන නව මාධ්‍ය භාණ්ඩ ඔහුගේ ගීතවලට අලංකාරයක් පමණක් නොව, අනන්‍යතාවයක්ද ලබාදුන්නේය. ඒ නිසා ක්ලැරන්ස්ගේ ගීතයක ආරම්භක ගිටාර් ඛණ්ඩය ඇසෙන විටම ගීතය හඳුනාගැනීමට හැකි වීම ජනප්‍රිය ගීතයකට ලැබිය හැකි බලවත්ම සන්නාම සලකුණකි.
කණ්ඩායමෙන් ඔබ්බට: ස්වාධීන නිර්මාණකරුවා
ක්ලැරන්ස් විජේවර්ධනගේ දායකත්වය කණ්ඩායම් සංගීතයට පමණක් සීමා නොවේ. ඔහු පසුව ස්වාධීන ගායකයෙකු, සංගීත අධ්‍යක්ෂවරයෙකු, සංගීත ශබ්දාගාර සංස්කෘතියට සම්බන්ධ නිර්මාණකරුවෙකු සහ නව ගායකයන් ඉදිරියට ගෙන ආ සංගීත නිෂ්පාදකයෙකු ලෙසද කටයුතු කළේය. ඔහු 1975 දී එච්. ඩී. ප්‍රේමරත්නගේ “සිකුරුලියා” හරහා සිංහල චිත්‍රපට සංගීතයට පිවිසි බවත්, 1978 දී “අපේක්ෂා” සඳහාද සංගීතය නිර්මාණය කළ බවත්, පසුව “සුසීමා” සහ “නිදිකුම්බා මල්” වැනි ටෙලිනාට්‍ය සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ බවත් සඳහන් කළ හැක.
මෙම පසුකාලීන ගීතවලදී ක්ලැරන්ස්ගේ සංගීතය තවත් පරිණත වූ බව විද්‍යමාන වේ. “හද විලේ”, “කඳ සුරිඳුනි”, “සිතේ සුසුම්”, “රෑ තාරකාවෝ”, “දෑස පියාගත් කල” වැනි නිර්මාණ ගත් විට, මුල් යුගයේ සරල රිද්මය පමණක් නොව, මෘදු ආත්මීයත්වය, සිහිනමය නාද සංකලනය හා ආවර්ජනාත්මක භාවයද හමුවේ. “දෑස පියාගත් කල” වැනි ඔහුගේ අවසන් යුගයේ ගීතයකදී අප හමුවන්නේ කණ්ඩායම් වේදිකාවේ ක්ලැරන්ස් නොව, නාට්‍යමය මනෝභාවයක් සංගීතයෙන් ගොඩනඟන සංගීත අධ්‍යක්ෂවරයෙකි.
මෙය ඔහුගේ සර්වකාලීනත්වයේ ප්‍රධාන හේතුවකි. ක්ලැරන්ස් හා සමකාලීන වූ කැලිප්සෝ සංගීත කණ්ඩායම් තමන් උපන් යුගයේම සිරවී ඉතිහාසයට එක් වූ නමුත්, ක්ලැරන්ස්ගේ සංගීතය එසේ නොවීය. එය බොක්ස් ගිටාරයෙන් ආරම්භ වී ඉලෙක්ට්‍රොනික රිද්ම රටා හා අලංකාර දක්වා පරිණාමනය වූ අතර, එතැනින් චිත්‍රපට හා ටෙලිනාට්‍ය සංගීතයටත්, පසුව ශබ්දාගාර සංස්කෘතියටත් ගමන් කළේය.
ක්ලැරන්ස්ගේ අසමසම දායකත්වය
ක්ලැරන්ස්ගේ අසමසම දායකත්වය ඔහු ජනප්‍රිය තරුවක් වූ නිසා පමණක් නොවේ. ජනප්‍රිය වීම සඳහා ගීත නිර්මාණය කළ අය බොහෝ දෙනෙක් සිටියහ. නමුත් ජනප්‍රියත්වය සංගීතමය නවෝත්පාදනයක් බවට පත් කළ හැකියාව ක්ලැරන්ස් සතු විය. ඔහුගේ දායකත්වය ප්‍රධාන තල කිහිපයක් ඔස්සේ හඳුනාගත හැක.
පළමුව, ඔහු සිංහල වචනයට ගැළපෙන ස්වතන්ත්‍ර පොප් තනු භාෂාවක් ගොඩනැඟීය. බටහිර තනු මත සිංහල වචන ඔබ්බවන පහසු මඟට වඩා, ඔහු සිංහල වචනයේ තාලය, කෙටි වාක්‍යය, කතාමය ස්වභාවය සහ කටට එන බුහුටි වදන් වැල ඇසුරින් තනු නිර්මාණය කළේය. ඒ නිසා ඔහුගේ ගීත ගායනා කිරීම පහසු වූ නමුත්, එම පහසුව තුළ නිර්මාණාත්මක නිරවද්‍යතාවයක් පැවතුණි.
එලෙසම, ඔහු ගිටාරය සිංහල ගීතයේ පසුබිම් වාද්‍යයක් ලෙස නොව, ගීතයේ අනන්‍යතාවය තීරණය කරන සංගීත හඬක් ලෙස ස්ථාපිත කළේය. ක්ලැරන්ස්ව සමහරුන් විසින් සිංහල පොප් සංගීතයේ පියා ලෙස හඳුන්වන්නට ඉදිරිපත් වන්නේ මේ නිසාමය. 1960 දශකයේදී ඉලෙක්ට්‍රික් ගිටාරය කණ්ඩායම් සංගීතයට හඳුන්වාදීමෙන් ඔහු දේශීය සංගීත ක්ෂේත්‍රය “electrified” කළ බව සඳහන් කිරීම අතිශයෝක්තියක් ලෙස පෙනුණද, එහි මූලික අර්ථය නිවැරදිය. ඉලෙක්ට්‍රික් ගිටාරය සිංහල ජනප්‍රිය සංගීතයේ ප්‍රධාන ශබ්ද සංකේතයක් බවට පත් කළේ ක්ලැරන්ස් විජේවර්ධනයි.
තෙවනුව, ඔහු නව ගායකයන් හා කණ්ඩායම් සංස්කෘතිය ගොඩනැඟීය. ඇනස්ලි මාලේවන, ඉන්ද්‍රානි පෙරේරා, අනිල් භාරති වැනි කටහඬවල් ජනප්‍රිය සංගීත අවකාශයට ගෙන ඒමේදී ක්ලැරන්ස්ගේ නිර්මාණාත්මක හා සංවිධානාත්මක භූමිකාව නොසලකා හැරිය නොහැක. ඔහු ගීතය තනි ගායකයාගේ කලාකෘතියක් ලෙස පමණක් නොව, කණ්ඩායම් අනන්‍යතාවයක් සහ වේදිකා ප්‍රසංග අත්දැකීමක් ලෙස සකස් කළේය.
එසේම, ඔහු ජනප්‍රියත්වය සහ කලාත්මකත්වය අතර වූ කෘත්‍රිම බෙදීම බිඳ දැමීය. ඔහුගේ ගීත සරලය; එහෙත් ඒ සරලකම හිස් නොවේ. දෛනික ජීවිතයේ සුවඳ, කටට හුරු වචන සහ නිවැරදි සංගීත සංයෝජනය එකට බැඳීම නිසා ඒවා ජනප්‍රියත්වය ඉක්මවා දිගුකාලීන සංස්කෘතික මතකයක් බවට පත්විය.
අවසාන වශයෙන්, ඔහු මාධ්‍ය පරිවර්තනයට ඔරොත්තු දුන් සංගීත ආකෘතියක් නිර්මාණය කළේය. EP තැටිය, ගුවන්විදුලිය, වේදිකා ප්‍රසංගය, කැසට් පටය, CD තැටිය, රූපවාහිනිය හා අන්තර්ජාලය දක්වා ක්ලැරන්ස්ගේ ගීත නැවත නැවත ජීවත් වෙයි. ඔහුගේ ගීතවලට අදත් ඇති අයිතිවාසිකම් හා ප්‍රතිනිර්මාණ සම්බන්ධ නීතිමය අවධානය පවා, ඔහුගේ කෘති තවමත් වෙළෙඳපොළ හා සංස්කෘතික වටිනාකමකින් පවතින බවට සාක්ෂියකි.
සරලකම හා නවෝත්පාදනය තුළින් කාලයේ සීමා බිඳ දැමීම
ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීතය සරලය, ජනප්‍රියය, එහෙත් ජනප්‍රියත්වය සඳහාම නිෂ්පාදනය වූ හිස් වාණිජ සංගීතයක් නොවේ. ඔහුගේ විශේෂත්වය වූයේ සිංහල භාෂාවේ දෛනික රසය, ගිටාරයේ නව ශබ්දය, කණ්ඩායම් සංගීතයේ තරුණ ජවය සහ මතකයේ රැඳෙන තනු එකට ගැටගැසීමය.
ආනන්ද සමරකෝන් සහ සුනිල් සාන්ත සුභාවිත දේශීය සංගීතයට අනන්‍යතාවයක් සොයා දුන් ආකාරයටම, ක්ලැරන්ස් විජේවර්ධන ජනප්‍රිය සිංහල සංගීතයට නූතන අනන්‍යතාවයක් ලබාදුන්නේය. බටහිර පොප් සංගීත උන්මාදයත්, නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛ Los Caballeros සහ නොයෙල් රණසිංහ ප්‍රමුඛ La Ceylonians වැනි දේශීය කැලිප්සෝ සම්ප්‍රදායත් ක්ලැරන්ස්ට පසුබිම් ආභාසයක් වන්නට ඇත. එහෙත් ඔහුගේ සුවිශේෂත්වය වූයේ, සිංහල වචනය, ගිටාරයේ නව ශබ්දය, ලාංකීය රිද්මය සහ ජනතා රසය එකිනෙකට ගැළපෙන ස්වතන්ත්‍ර පොප් භාෂාවක් බවට පත් කිරීමය.
එම නිසා ක්ලැරන්ස් විජේවර්ධන සිංහල පොප් සංගීතයේ එක් යුගයක නමක් පමණක් නොවේ. ඔහු අදත් ක්‍රියාත්මක වන සංගීත ආකෘතියක නිර්මාණාත්මක මුල් සලකුණකි. ඔහුගේ ගීත අපට මතක් කරන්නේ ජනප්‍රිය ගීතයද කලාත්මක විය හැකි බවත්, සරලකම තුළද නවෝත්පාදනය සැඟවී තිබිය හැකි බවත්, කෙටි තනුවක් පවා සමාජයක දිගු මතකයක් බවට පත්විය හැකි බවත්ය. ඔහු තාක්ෂණය පසුපස හඹා ගිය නිසා නොව, තාක්ෂණය තුළ තමන්ගේ සරල තනු භාෂාව අලුත් කරගත් නිසා ඔහුගේ ගීත කාලය ඉක්මවා ගියේය.
ක්ලැරන්ස් විජේවර්ධන කළ ආකාරයේ, ජනප්‍රියත්වය, තාක්ෂණික නවෝත්පාදනය, කණ්ඩායම් සංගීතය සහ සිංහල පද භාෂාව එකට ගැටගැසූ සංගීත පරිවර්තනයක් සිදු කළ නිර්මාණකරුවන් අදටත් අතලොස්සකි. පසුකාලීන ජනප්‍රිය සංගීත පරපුරේ රූකාන්ත ගුණතිලක, කසුන් කල්හාර, භාතිය-සන්තුෂ් වැනි අතිදක්ෂ මෙන්ම ජනප්‍රිය සංගීතකරුවන් බිහිව සිටියත්, සිංහල ජනප්‍රිය සංගීතයේ ආකෘතියම වෙනස් කළ නිර්මාණකරුවෙකු ලෙස ක්ලැරන්ස් විජේවර්ධන ඉටු කළ විප්ලවීය යුග මෙහෙවර තවමත් අසමසමය.
ඉංජිනේරු සුරන් ප්‍රනාන්දු වසර විසි හතරක පළපුරුද්දක් සහිත වරළත් ගොඩනැගිලි සේවා ඉංජිනේරුවරයෙකි. ඔහු ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) සභිකයෙකු වන අතර, වර්තමානයේ එහි ගරු ලේකම් ලෙස කටයුතු කරයි. ඔහු IESL හි ජාතික ඉංජිනේරු උරුම සංසදයේ (National Engineering Heritage Forum) සභාපති ධුරයද උසුළයි. ඔහු IESL ආයතනයේ නිල පුවත්සඟරාවේ (SLEN) හිටපු සංස්කාරකවරයා ද වේ.
ඊට අමතරව, සුරන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ (Engineering Council Sri Lanka - ECSL) හි සභිකයෙකු ද වේ. ඔහු දැනට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) අධ්‍යක්ෂක/ ඉංජිනේරු ලෙස කටයුතු කරනු ලබයි.
Recent SLEN articles by the same author
- 'වාලම්පුරි' හරහා දිගහැරෙන සමාජයේ නව පරිකථනය (SLEN 64:june 2025 )
https://iesl.lk/SLEN/64/Walampoori.php
- BRINGING REAL LIVES TO REEL: A CLOSER LOOK AT RANI (2025) (SLEN 63: March 2025)
https://iesl.lk/SLEN/63/Closer_Look_at_Rani.php
- 'ද නිවුස්පේපර්' සිනමා පටය පිලිබදව ආපසු හැරී බැලීමක්
SLEN 59: December 2021
https://iesl.lk/SLEN/59/The_News_Paper.php
- 'සතක් අතුපතර' - ගී පද විවරණය
(SLEN 55: June 2021)
https://iesl.lk/SLEN/55/song%20review.php
- විජයබා කොල්ලය - 1521 සිට 1938 ඔස්සේ 2019 දක්වා
(SLEN 45 - May/June 2019)
https://iesl.lk/SLEN/45/vijayaba.php
https://iesl.lk/SLEN/64/Walampoori.php
https://iesl.lk/SLEN/63/Closer_Look_at_Rani.php
https://iesl.lk/SLEN/59/The_News_Paper.php
https://iesl.lk/SLEN/55/song%20review.php
https://iesl.lk/SLEN/45/vijayaba.php