පැය දෙකාමාරක් - මිලියන විසිතුනාමාරක් - හීන හතහමාරක්

'වාලම්පුරි' හරහා දිගහැරෙන සමාජයේ නව පරිකථනය

සුරන් ප්‍රනාන්දු ලියයි.

නගරයෙන් ඈත පිහිටි ගමක සිටින, උපතින් දේපළක්, ව්‍යාපාරයක් උරුම නොවූ හෝ රැකියාවක් කිරීමට තරම් වන ඉගෙනුමක් නොලැබූ අයෙකුට, බාධක මැඩගෙන සමාජයේ ඉහලට ගොස් තමන්ගේ සිහින ජයගැනීමට නම්, ඒ පුද්ගලයා සුවිශේෂී දක්ෂතා ඇති අයෙකු විය යුතුය. මේ මිනුම්දඬු වලට අයත් නොවන ගැමි තරුණයන් සමාජය තුළ පූර්ණ පුරවැසියන් ලෙස නොසැලකේ. සම්මත සමාජයෙන් පිටමං කළ මෙවැනි 'ටැම්පරි' කරුවන්ට අඩුම ගන්නේ සම්මත ලෙස සැළකෙන කුලී වැඩක් හෝ නොලැබෙන්නේ නම්, ඔවුන්ට සිදුවන්නේ එදිනෙදා අදායම ඉපයීමට අතට අහුවෙන දේ කිරීමටයි. මේ අතට අහුවන දේ බොහෝ විට සමාජ සම්මතයෙන් පිට දේවල් වීමේ හැකියාව බහුලයි.

තම දිවි සරි කර ගැනීම සඳහා එකිනෙකට වෙනස් ‘ගේම්’ ගසමින් දවස ගෙවන, සීගිරිය අසල ගමක වෙසන ‘ටැම්පරි’කණ්ඩායමකගේ ජීවන පුවතක්, ලක්මාල් ධර්මරත්න සිය කුළුඳුල් සිනමා නිර්මාණය වන ‘වාලම්පුරි හෙවත් හීන හතහමාරක්’ හරහා ගෙනහැර පායි. මෙය, මේ මහපොළොවේ මහා සමාජය තුළ ඇස නොගැටෙන මිනිසුන් සමුහයකගේ හීන - එකක්, දෙකක්, හෝ හතක් ගැන නොව, හීන හතහමාරක් පිළිබඳ සංකේතාත්මක විමසුමක් ලෙස අප හමුවට පැමිණේ.


දිවා රෑ මහන්සි වී කන්න දේ රැස් කරන බුද්ධිමත් කූඹීයා මෙන් නොව, පර්වත බැවුමක, මිනිසුන්ට හෝ සතුන්ට නොපෙනෙන මානයක සිය පැණි වදය බඳින බඹරාගේ ජීවන ප්‍රයත්නයේ සැබෑ ස්වරුපය සෙසු සමාජය හමුවේ විද්‍යමාන වන්නේ නැත. බඹරාගේ නිවසට දුම් ගසා එය කඩා බිඳ දමා, අවසානයේදී උගේ වෙහෙස සූරා ගෙන බඹර පැණි වල අයිතිය හිමිකරගන්නේ, බොහෝවිට එවැනිම මට්ටමක සිටින අනෙකෙකි. ඒ අසංවර අනෙකා පවා, පර්වත බැවුමේ බැදී බඹර වදය වෙත ලඟා වන්නේ, කලවැල්, පුස්වැල් එකිනෙකට බැඳ සෑදු වරපටකට එල්ලී, තම ජීවිතය පවා පරදුවට තබමිනි. සිය ජීවිතය රැඳෙන වරපොටේ අනිත් කෙළවර, තම එක් කුස උපන් සොයුරාට පවා දීමට මැලි වන බඹර වද කපන්නා, බඹර විස හෝ පහලින් පෙනෙන පාතාලය පිළිබඳ අවදානම අමතක කොට, බඹර පැණි සොයා ඇදේ.

බමරු අඩන්නා කඳු අස නෙළුම්      මලේ
බමරු පිට දෙබරු නාඩත් ද මොර    මලේ
මුතු කුඩ සේ රැලි අල්ලා බදිති       ගෙලේ
පැදලා කපාපන් රුසිරු ගොයිදු     හෙලේ

වාලම්පුරි සිනමාපටයේ එන සිඩ්නි, විමලෙ මාමා, ප්‍රියංකර, චින්තා, සහ ආන්ජලෝ යන චරිත එක් එක් මොහොත් වලදී අයත්වන්නේ, වදය මහන්සියෙන් බඳින බඹර කුලයට හෝ, අනුන්ගේ වදය මහන්සියෙන් සොරාගන්නා මිනිස් කුලයටය. එකම ජහුටා නාට්‍ය කණ්ඩායමේ එකට රඟපෑවද, පීඩනය හමුවේ, ඔවුන් එකිනෙක අතර පවතින සියුම් පංතිමය වෙනස්කම් කළඑළි බසී. ඒ නිසාවෙන්ම ගැටුම් ඇතිකර ගනී. බාහිර නාගරික සමාජය සමඟ සම්බන්ධතා ඇති සාමාජිකයෝ, ගමෙන් පිට සිවිල් සමාජ ප්‍රබලයන් හා හොර රහසේ එක්වෙමින්, තමාගේම සගයන්ට එරෙහිවද ගේම් ගසන්නට පැකිලෙන්නේ නැත. දුබලයා අහිංසක වන්නේ නොපනත්කම් කිරීමට ඉඩ නොමැති නිසා මිස, අකමැති නිසා නොවේ. කණ්ඩායම තුළ පවා, දුබලයාගේ සහ ප්‍රබලයාගේ චරිත, ප්‍රේක්ෂකයාට පවා නොදැනෙන ලෙස දෙපැත්තට දෝලනය වන්නේ, අප වටා පවතින සංකීර්ණ සමාජ අත්දැකීම් අපට නැවත නැවතත් සමීප කරවමිනි. සිඩ්නි පිටස්තරයකුගෙන් පහර කන සෑම අවස්ථාවකදීම, ඔහුව එතැනට ගෙන ගිය තමන්ගේ කණ්ඩායම් සාමාජිකයාම, අවසානයේ ඔහුව එයින් බේරා ගැනීමට ඉදිරිපත් වේ. එවැනි සිදුවීම් වලින් පසුවද, සිඩ්නි ඔවුන් සමඟ නැවතත් එකට කටයුතු කිරීම නවත්වන්නේ ද නැත. තමන්ගේ සිහින වාලම්පුරිය ජයග්‍රහණය කිරීමේ ඉලක්කය හඹා යාමේ අනවරත අරමුණ හමුවේ, අනෙකුත් සියළු දේ දෙවැනි කොට සැලකෙයි.

මේක මාරකයක් දෙයියෝ!!

ඔවුන්ගේ ලෝකයේ හොඳ හා නරක යන්න, සෙසු සමාජය දන්නා හොඳ හා නරකයන්ට සමානුපාතික නොවේ. රෑට, එක් එක් ප්‍රදේශවල වේදිකා මත රජාබරණ පැළඳ රාජකීය රඟනයේ යෙදෙන්නේ, දවල්ට ඒ ප්‍රදේශයේ නිදන් හාරන්නට පසුබිම සකසා ගැනීම සඳහාය. ‘රෑට නටනවා, දවල්ට හාරනවා’ යන්න ඔවුන්ගේ සදාචාර මිනුම් දණ්ඩට අනුව වරදක් නොවේ. ‘මේ රට මගේ රට - මා ඉපදුණ රට’ යැයි පාසලේදී කියා දී, රටේ අයිතිය තමන්ට පවරා දී ඇති නිසා රටට කුමක් කරත් එය වැරදි දෙයක් නොවන බව ඔවුහු විශ්වාස කරති. “ප්‍රොෆෙසර් මහත්තුරු පොලව යට නිදන් තියාගෙන පොත් ලියලා හම්බ කරනවා, අපි නිදන් හාරලා හම්බ කරන්වා - දෙකම එකයිනෙ!” යැයි විමලෙ මාමා කියන්නේ එබැවිනි. කොහේදෝ සිට දිව ඇවිත්, එකවරම රට, ජාතිය, ආගම හා ජනතාව වෙනුවෙන් සිය ජීවිතය පූජා කරන බවට ගුගුරවමින් ජහුටා වේදිකාව දෙවනත් කරන රටේ ඔටුන්න හිමි පුත් කුමරයා පවා, එදිනම රෑ පුරාවස්තු විනාශයට දායක වේ. ‘අපි නළුවෝ සර්!’ යැයි සිඩ්නි කියන්නෙ මේ දෙබිඩි බව නිසාය.

බමර කපා පැණි හැමටම    බෙදන්නා
බමරු තොපට පිං අත්වෙයි    කියන්නා

මේ එකිනෙකාගේ තනි හෝ සමුහ පරම අරමුණ වන්නේ තමන් හෝ අනෙකා සතු වාලම්පුරිය ඉහල මිලකට විකුණා තමන්ගේ සිහින ඉටුකර ගැනීමටයි. ඒ සිහින ද විවිධාකාරයි. සිඩ්නි සිය බිරිඳව රැජිනක් කිරීමට සිහින මවන අතර විමලේ මාමාගේ උපරිම සිහිනය වන්නේ කවදා හෝ සීල් අරක්කු පිහිනුම් තටාකයක කිමිදීමයි. කුමන ජීවන අවදානමක් දරමින් හෝ සිය සිහින ඉටුකරගැනීම වෙනුවෙන් ඔවුන් අග මුල නොදන්නා අනවරත තරඟකාරී සුවිසැරියක නිරත වේ. තමන් උඩ සිට යටට හාරා අසමත් වන්නේ, තමන්ට පෙර හරහට හාරා මැච් එක ගැසූ තමන් වාගේම වෙනත් ගේම් කරුවන් පිරිසක් නිසා බව නිදන් පත්ලෙන් ගොඩ ආ සිඩ්නි කියන්නේ කළකිරීමෙනි. සිහින සඳහා තරඟය එතරම් තරඟකාරියි.

ගමට ඔබ්බෙන් පැවති පුද්ගල සබඳතා මත, පොලිස් සමන් හා ස්වාමි සමඟ එක්ව, තමන්ගේ කණ්ඩායම් සගයන්ට හොර රහසේ වාලම්පුරිය විකුණා ගැනීමට පන්නිපිටියේ සිට සීගිරියට පැමිණි ප්‍රියංකර මුදලාලි තැත් කරයි. සිය නාගරික ආකර්ශනීය පෙනුම නිසා සිසිකා මැඩම් සමග කුළුපග වී වාලම්පුරිය රහසේ විකිණීමට ආන්ජලෝ කටයුතු කරයි. අවසානයේදී ඔවුන් දෙදෙනාම, තමන්ගේ අනෙකුත් ටැම්පරිකාර සීගිරි සගයන් වන සිඩ්නි, විමලේ මාමා හා චින්තා සේම අසමත් වන්නේ තමන්ට වඩා මුල් ඇදි නාගරික ගේම් කරුවන්ගේ සටකපට කම් ඉක්මවීමට ඔවුන්ට නොහැකි නිසාය. ගෙන්දගම් පොළොවේ භුමි වාසිය හිමි සිසිකා මැඩම් හා පොලිස් සමන් හමුවේ, සිඩ්නිලා දියෙන් ගොඩට ආ කිඹුලන් සේ දුර්වල බව ඔවුන් දනී. එනමුත් චින්තාගේ ෆයිබර් වාලම්පුරියට නාගරික ගේම් කරුවන් පවා රැවටේ. ඒ මේ තරඟයේ නිශ්චිත ජයග්‍රාහකයෙක් හෝ පරාජිතයෙක් නොමැති බව නැවත නැවතත් අපට පසක් කරවමිනි. සියල්ලෝම, හැකිනම් තනිව, බැරිනම් හවුලේ උත්සාහ කරන්නේ හොඳින් හෝ නරකින් තම සිහින ඉටුකර ගැනීමටයි. ඒ ගමනේදී අනෙකාව රැවටීම හෝ පාවිච්චිකිරීම සාමාන්‍ය දෙයකි.

ගමේ ජහුටා කණ්ඩායමට ඉහලින් සිය අණසක පතුරුවාගෙන සිටි පොලිස් සමන්ගේ සිවිල් බල පරාක්‍රමයේ සැබෑ මුහුණුවර හෙළිවන්නේ, උසස්වීමක් වෙනුවෙන් සිය ඉහල නිලධාරීන්ට සැලියුට් ගසමින් අවුරුදු ගණනාවක් තිස්සේ විදින ගැහැට පිළිබඳව කියන ඔහුගේ දුක්ගැනවිල්ල ඇසුවාට පසුවයි. ගං කබරයන් හා පොලිස් සමන්ටත් වඩා බලවත්, තෙදවත් කස්තුරි ද මේ පොරයට එක්ව සිටින්නේ, වාලම්පුරිය සොයනොගතහොත් ඔහුට සිය බලවත් දේශපාලක හාම්පුතාගෙන් බේරුමක් නැති නිසාය. ගමේ අසරණයා ඉදිරියේ හයිරම්කාරකම් පාන නාගරික සිවිල් ප්‍රබලයෝ, සිය හාම්පුතුන් ඉදිරියේ අසරණයන් වෙති. සමාජයේ විවිධ තරාතිරම් නියෝජනය කරන මොවුන් සියල්ලන්ගේම පොදු ලක්ෂණය වන්නේ පාට පාට ලොකු සිප්පි කට්ටක් පසුපස හඹා යමින්, ඒ හරහා සිතු පැතූ සම්පත් ළඟාකර ගැනීමට දිවි පරදුවට තබා කටයුතු කිරීමයි. සිහින හා බලාපොරොත්තු වෙනුවෙන් මිනිසුන් නොකරන දෙයක් නැත.

සිහින පසුපස හඹා යාම අසීරු වුවද,ඒ අසීරු ගමනම අතිශයින්ම වින්දනාත්මකය. මානව සමාජය මෙලෙස නොනැවතී ඉදිරියට ගලා යන්නේ මිනිසාගේ සිහින හේතු කොටගෙනය. සමාජය තුල අතළොස්සක් දෙනා සිහින ඉටුකර ගැනීමෙන් තෘප්තිමත් වන අතර, වැඩි දෙනෙක් ප්‍රමුදිත වන්නේ ඇතින් ඇති සිහිනය දෙස බලමින් ඒ පසුපස යන ගමනෙනි. මෙය සිඩ්නිට හා කස්තුරිට එක සේ පොදුයි. එකම වෙනස, සිඩ්නි ට වඩා කස්තුරිට තමන්ගේ සිහිනයට ලඟා වීමේ ඇති මග පහසු හා කෙටි වීම පමණක්මය.


අනුකම්පාව, උපේක්ෂාව හෝ සමහර විට අප්‍රසාදය පෙරදැරි කරගෙන කරගෙන මේ පිරිස දෙස තරමක් ඉහළ සිට බලා සිටින ලාංකික සිනමා රසිකයාට, තමන් කෙතරම් පිළිගැනීමට අකමැති වුවත්, තමා තුලම, සිඩිනි කෙනෙක්, ආන්ජලෝ කෙනෙක් හෝ පොලිස් සමන් කෙනෙක් සිටින බව හිත කීරි ගස්සවමින් පසක් කරවා දීමට අධ්‍යක්ෂක වරයා සූක්ෂම වේ.

අම්මා පල්ලා බඹරුගෙ අත වරද              නැතී
කැලේ තිබෙන මල් පැණි බී උන්         රැකෙතී
ගොවියන් කරන ගොවිතැන් පාළු නොකෙරෙතී
බඹර කපන අය නරකාදියේ                      යතී

සිනමා පටයේ අවසාන ජවනිකාවේ දී, සිය සුපුරුදු ගමන් බෑගයත් රැගෙන නැවතත් සිය සගයන් වෙත ජහුටා පොළට පැමිණි ඇන්ජලෝව, වේදිකාව මත රාජකීය සළුපිළි පැළඳගෙන රංගනයේ යෙදෙමින් සිටින සිඩ්නිගේ ඇස ගැටේ. වේදිකාවේ තමන් කරන රංගනය අමතක වී එක තැන නවතින සිඩ්නිගේ මුවගට නැගෙන සියුම් සිනහව, මේ සිනමා අත්දැකීමේ සමස්තය පිළිබඳ වචන දහසක් එක මිටට කැටිකර ගෙන හැර දක්වයි.


සමාජ කතිකාවතකට මුල පුරන සිනමා කෘතියක් නැරඹීමේදී අප වඩා කැමති වන්නේ, අප විසින්ම අපට බාහිරින් ස්ථානගත කළ සමාජය දෙස එම නිර්මාණය හරහා විනිවිද දැකීමටයි. නමුත්, 'වාලම්පුරි' හරහා ලක්මාල් ධර්මරත්න අපට බලකරන්නේ, අප කැමති ලෙසටම, 'ජනේලයක්' හරහා මෙන් සමාජය දෙස පහන් සිතින් බලන්නටයි පමණක් නොවේ. අප එතරම් කැමති නැති ලෙසකට, 'කැඩපතක්' තුලින් මෙන් අපි දැකීමට අකමැති අපගේම පිළිබිඹුව අපටම පෙන්වීමටයි. සුවපහසු අසුනකට බරදී උපේක්ෂා සහගතව සිනමාපටය නරඹන ඔබට හෝ මට, මේ වෙනස් පසුබිමක, වෙනස් චරිත ලෙස සිහින වාලම්පුරියක් පසුපස එකිනෙකා පරයමින් වැටි වැටී නොනැවතී පිම්මේ දුවයන්නේ අපි අපිම බව දැනීමට පටන් ගනී. දිවයාම නොනවතින්නේ, සිහින ඉටුකරගැනීම වගේම බලාපොරොත්තු පෙරදැරි කරගෙන සිහින හඹා යාමම අප ප්‍රමෝදයට පත්කරවන නිසාය. සිඩ්නි ට මෙන්ම අපටත් ඇත්තේ වෙහෙස පරදා නැගී සිට ඉලක්කය බලා හැල්මේ දුවන බලපොරොත්තුවකි. ඒ බලාපොරොත්තුවම අප පිනවයි. ජීවිතය ජිවත් කරවන්නේ ඒ ඉටුවෙන හෝ ඉටුනොවෙන බලාපොරොත්තු වල පිහිටෙනි.

"සර්!...දිනන එක නෙවේ අපේ ආතල් එක!....අපේ ආතල් එක දුවන එක!!"


 

ඉංජිනේරු සුරන් ප්‍රනාන්දු වසර විස්සකට වඩා වැඩි පළපුරුද්දක් සහිත වරළත් ගොඩනැගිලි සේවා ඉංජිනේරුවරයෙකි. ඔහු ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) සභිකයෙකු වන අතර, වර්තමානයේ එහි ගරු ලේකම් ලෙස කටයුතු කරයි. මීට අමතරව, ඔහු IESL ආයතනයේ නිල පුවත්සඟරාවේ (SLEN) සංස්කාරකවරයා වශයෙන්ද කටයුතු කරන අතර, IESL හි ජාතික ඉංජිනේරු උරුම සංසදයේ (National Engineering Heritage Forum) සභාපති ධුරයද උසුළයි. තවද, ඊට අමතරව, සුරන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ (Engineering Council Sri Lanka - ECSL) හි සභිකයෙකු ද වේ. ඔහු දැනට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) පහසුකම් කළමනාකරණය පිලිබඳ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරනු ලබයි.




Facebook Twitter LinkedIn Email

Recent SLEN articles by the same author
  1. BRINGING REAL LIVES TO REEL: A CLOSER LOOK AT RANI (2025) (SLEN 63: March 2025)
    https://iesl.lk/SLEN/63/Closer_Look_at_Rani.php
  2. 'ද නිවුස්පේපර්' සිනමා පටය පිලිබදව ආපසු හැරී බැලීමක් SLEN 59: December 2021
    https://iesl.lk/SLEN/59/The_News_Paper.php
  3. 'සතක් අතුපතර' - ගී පද විවරණය (SLEN 55: June 2021)
    https://iesl.lk/SLEN/55/song%20review.php
  4. විජයබා කොල්ලය - 1521 සිට 1938 ඔස්සේ 2019 දක්වා (SLEN 45 - May/June 2019)
    https://iesl.lk/SLEN/45/vijayaba.php