රටේ බලශක්ති ආරක්ෂාවට තර්ජිත New Fortress Energy (NFE) සමාගම ගෙනෙන Unsolicited ආකාරයේ යෝජනා රටට විශාල පාඩුවක්

By Eng. Saumya Kumarawadu

ජාතික බලශක්ති ප්‍රතිපත්තිය


අඛණ්ඩව, ප්‍රමාණවත් ලෙස හා විශ්වසනීයව; බලශක්ති සුරක්ෂිතතාවය සහතික කිරීම වැනි අංශ කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමින්, ජාතික ආර්ථිකයට ප්‍රශස්ත මිලකට බලශක්ති සේවා සැපයීම, විදුලිය පිළිබඳ ස්වයං විශ්වාසය වැඩි දියුණු කිරීම, අනෙකුත් ක්ෂේත්‍ර අතර බලශක්ති ක්ෂේත්‍රයේ හිතකාමී පාලනය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ප්‍රධාන වශයෙන් ආරම්භ කරන ලද ‘ජාතික බලශක්ති ප්‍රතිපත්තිය’ ශ්‍රී ලංකා රජය විසින් 2019 අගෝස්තු මස ‘ශ්‍රී ලංකාවේ ජාතික බලශක්ති ප්‍රතිපත්තිය හා උපාය මාර්ග’ ගැසට් කරන ලද අතර එහි මූලික පරමාර්ථය වන්නේ විශ්වසනීය, ලාභදායි හා තරඟකාරී මිලකට බලශක්ති සේවා සැපයීම් තුළින් ශ්‍රීලංකාවේ සමාජ සාධාරණ සංවර්ධනයට උරදිය හැකි ලෙස බලශක්ති සුරක්ෂිතතාවය සහතික කිරීමයි.

රට තුළ විදුලිබල උත්පාදනයේ විවිධත්වය පුළුල් කළ හැකි (Country to broaden diversity) පොසිල ඉන්ධන විකල්පය ලෙස (Fossil Fuel Option) දවීකරණය කළ ස්වාභාවික වායුව (Liquefied Natural Gas - LNG) උක්ත ජාතික බලශක්ති ප්‍රතිපත්තියේ පැහැදිලිව සඳහන් වන අතර ජාතික බලශක්ති ආරක්ෂිත උපාය මාර්ගයන්ට ඇති වන බලපෑම සලකා පළමු LNG පර්යන්තයේ ක්‍රියාකාරිත්වය හා LNG ප්‍රසම්පාදනය (Operation & Procurement) රාජ්‍ය පාලනය යටතේ තිබිය යුතු බව පැහැදිලිව සඳහන් කර ඇත.

විනිවිදභාවය සහ වගවීම සහතික කෙරෙන විධිමත් තරඟකාරී ලංසු යෝජනා ක්‍රමයක් තුලින් යන්ත්‍ර, උපකරණ, බොරතෙල් හා අනෙකුත් ඉන්ධන මෙන්ම බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම් සහ ඒ හා සමාන සහන ක්‍රියාත්මක කරනු ඇති බව ජාතික බලශක්ති ප්‍රතිපත්තියේ තවදුරටත් සාක්ෂාත් කර ඇත.


LNG විදුලිබල උත්පාදනය සඳහා ලංවිම විසින් ගෙන ඇති ආරම්භයන්

ජාතික බලශක්ති ප්‍රතිපත්තිය හා විදුලි කර්මාන්තය පිළිබඳ පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශයන්ට අනුකූලව, ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනය සඳහා LNG යෙදවීමට මේ වන විටත් පහත සඳහන් පියවර ගෙන ඇත.

  1. ආසියානු සංවර්ධන බැංකුව මඟින් අරමුදල් සපයන සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයනයකින් දැනටමත් පුළුල් සැලසුමක් සකස් කර ඇත.
  2. විදුලිබල මණ්ඩලයේ උත්පාදන සැලැස්මට අනුකූලව මෙන්ම ජනිත විදුලිය බැහැර කිරීමේ පුරෝකථනයන්ට අනුව තීරණය කළ මූලික LNG අවශ්‍යතාවයන්ට අනුව කොළඹ පදනම් වූ බලාගාර සැලසුම් කර ඇත.
  3. විනිවිදභාවය හා වගවීම තහවුරු කරමින් තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලිය තුළින් රටට ප්‍රශස්ත ආර්ථික ප්‍රතිලාභ ලබා දීම සඳහා LNG පර්යන්තය, නල මාර්ගය හා LNG සැපයුම ප්‍රසම්පාදන ටෙන්ඩර් වෙන් කරන ලදි.
  4. LNG Terminal (FSRU, Mooring Facility & other Infrastructure) මිලදී ගැනීම සඳහා සහ නල මාර්ග ජාලය ඉදි කිරීම සඳහා ලංවිම විසින් කැඳවන ලද ජාත්‍යන්තර තරඟකාරී ටෙන්ඩර් ලංසු දැනට අගයමින් පවතී.
  5. තරඟකාරී ලංසු ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය තුළින් LNG මිළදී ගැනීම සඳහා වූ ලංසු ලේඛන සකස් වෙමින් පවතී.

New Fortress Energy (NFE) බලශක්ති යෝජනා

  1. ඩොලර් මිලියන 250 ක West Coast Power Private Limited (WCPL) කොටස් 40% ක් මිලදී ගැනීම පිළිබඳ සලකා බැලීම.
  2. FSRU, Mooring System හා නල පද්ධතිය සහිත LNG පර්යන්ත ක්‍රියාත්මක කිරීම.
  3. කෙරවළපිටිය ඉදිවිය හැකි අනෙකුත් බලාගාර සමඟ WCPL, Sobadhanavi Limited (SBL) බලාගාර සඳහාද කැළණිතිස්ස ඉදිවිය හැකි ලංවිම බලාගාර සඳහාද LNG සැපයුම
  4. තවදුරටත් දීර්ඝ කිරීම් සමඟ මුලින් නිශ්චිත වසර 5 ක් සඳහා කොන්ත්‍රාත් කාලය.
  5. විදුලි උත්පාදනය සඳහා ලංකාවට LNG සැපයීමේ එකම අයිතිය.
  6. ශ්‍රී ලංකාව යටතේ ඇති සියලුම බදු නිදහස් කිරීම්/ප්‍රතිලාභ/ආයෝඡන දිරි දීමනා NFE වෙත ලබා දීම.
  7. නිදහස් නොකෙරෙන ඕනෑම බදු මුදලක් රජයට ගාස්තුවක් වීම.

NFE යෝජනාව ජාතික බලශක්ති ආරක්ෂාවට තර්ජනයක් මෙන්ම එය ක්‍රියාත්මක කිරීම රටට විශාල පාඩුවකි

  • ප්‍රසම්පාදන ප්‍රතිපත්ති, ජාතික බලශක්ති ප්‍රතිපත්ති මෙන්ම තරඟකාරී මිල ගණන් ක්‍රියාවලිය අනුගමනය කළ යුතු බවටූ ශ්‍රී ලංකා විදුලි බල පනතෙහි විධිවිධාන වලටද ඉන්ධන මිලදී ගැනීම මෙන්ම පළමු එල්එන්ජී පර්යන්තය සහ එල්එන්ජී සැපයුම රජය යටතේ තබා ගැනීම යන යෝජනාවලටද NFE පටහැනිවේ.
  • එල්එන්ජී පර්යන්තය, නල මාර්ග සහ එල්එන්ජී සැපයුමේ කොන්ත්‍රාත් එකවරම එකට එකතු කිරීම, කොන්ත්‍රාත්තුව විදේශ සමාගමකට භාර දීම ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් වන අතර ඉදිරි වසර ගණනාවක දී විදේශීය සමාගමකට විශාල පාලන බලයක් ලබා දීම මෙන්ම බලශක්ති ආරක්ෂාව සහ ලංකාව සදහටම ඔවුන්ගේ භාරයේ පවතිනු ඇත.
  • ලොව පුරා රටවල් බහුතරයක ද්‍රවීකෘත ස්වභාවික වායු(LNG) සැපයීමේ ටෙන්ඩර සහ එයට අදාල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ටෙන්ඩර ඒකාබද්ධ කර සිදු නොකෙරෙන අතර රටෙහි ජාතික ආරක්ෂාව, බලශක්ති ආරක්ෂාව තහවුරු කරනු වස් සහ තරඟකාරී වෙලඳපොලක උපරිම ප්‍රතිලාභ ලබාගනු වස් එම ටෙන්ඩර කැඳවීම හැමවිටම වෙන්වෙන්ව සිදු කරනු ලබයි.
  • WCPL සහ SGL හි කොටස් ලබාගැනීම පැහැදිලිවම සිදුකල හැකි බවට අනාවරණය වූ හෙයින් ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටා ඇති සමාගමක් විසින් මෙරටෙහි විදුලිබල සැපයුමේ පාලනය සියතට ගනු ඇත.
  • NFE සමාගම හරහා ද්‍රවීකෘත ස්වභාවික වායු(LNG) සැපයීමේ කොන්ත්‍රාත්තුව වසර පහක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 30000 ක් පරාසයක පවතිනු ඇති අතර එය වසර දහයක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 6000ක් දක්වා වැඩිවිය හැක. බොහෝ විට මෙරටෙහි සිදු වූ විශාලතම කොන්ත්‍රාත්තුවද වියහැකි මෙවැනි මහා පරිමාණයේ කොන්ත්‍රාත්තුවක් සඳහා තරඟකාරී මිලගණන් කැඳවීමකින් තොරව වෙනත් අයෙකුට ලංසු ඉදිරිපත් කල නොහැකි ආකාරයට එක ආයතනයකට ලබාදීම බරපතල අපරාධයකි.
  • මෙහිදී ද්‍රවීකෘත ස්වභාවික වායු(LNG) සැපයීමට අදාල මිලගණන් තීරණය කෙරෙන මිලසූත්‍ර මෙරට ඉතාමත් අනර්ථකාරී වන ලෙසට ඉදිරිපත් කර ඇත. රටට ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනාවක පාඩුවක් සිදුකල කූප්‍රකට හෙජින් ගිවිසුමේදී සිදු වූයේද මෙවැනිම ක්‍රියාවලියකි.
  • NFE සමාගමේ ‍යෝජනාව ක්‍රියාත්මක කලහොත් ශ්‍රී ලංකා රජයට ඉදිරියේදී LNG මිලගණන් පහල යෑමෙන් සිදුවන වාසිය ලබාගැනීමට නොහැකි වනු ඇත. තවද රජයක් වශයෙන් මිත්‍රශීලී මධ්‍යදරණී රටවල් වල රජයන් හරහා වඩා වාසිදායක ලෙසට LNG මිලදී ගැනීමට මෙරට රජයට ඇති හැකියාවද මේ සමග අහෝසි වනු ඇත.
  • සාමාන්‍යයෙන් TOP (Take or Pay) යනුවෙන් සඳහන් වන මිලදී නොගත්තද යම් LNG පරිමාවකට අනිවාර්යයෙන්ම ගෙවීම් කිරීමට සිදුවන කොන්දේසිය එම ඉන්ධනය ලබාගන්නා කොන්ත්‍රාත්තු වලම කොටසකි. එබැවින් මිලදී ගන්නා පාර්ශවය LNG සැපයුම්කරුට TOP පරිමාවට අදාල ගෙවීම එම ඉන්ධන ප්‍රමාණය ලබාගත්තද නොගත්තද ගෙවිය යුතුය. ඒ හේතුව මතම මෙසේ ගෙවීම් සිදුකල යුතු TOP LNG පරිමාව තීරණය කිරීම සුපරික්ෂාකාරීව සිදුකල යුතුය. එසේ කිරීමේදී විදුලි බලාගාර භාවිතා සාධකය (Plant Factor), විදුලි බලාගාර තිබෙන ධාරිතාව(Plant Availability), විදුලි බලාගාර යෙදවෙන තත්වයන් (Dispatch Scenario) සහ වෙනත් අඩු වියදම් ජනන මූලාශ්‍ර වන ජල, ගල් අඟුරු, සුලං, සූර්ය බලශක්තීන් හි පවතින ධාරිතාව වැනි කරුණු රැසක් සලකා බැලිය යුතුය.

    තත්වය එසේ වියයුතු නමුත් NFE සමාගමේ LNG සැපයුම් කොන්ත්‍රාත්තුවේ සඳහන් වන TOP-LNG පරිමාවේ අගය ඉතා ඉහලය. එය ලංකා විදුලිබල මණ්ඩලයට සුවිශාල මූල්‍ය බරක් පටවන කොන්දේසියක් වන අතර වසර පහක කාලය සඳහා එය ඇමෙරිකානු ඩොලර් බිලියනයක් පමණ වනු ඇති බවට ගණන් බලා ඇත. ලංකා විදුලිබල මණ්ඩලය එසේ පාඩු ලබද්දී NFE සමාගම එම කාලසීමාව තුල අතිවිශාල TOP-LNG පරිමාවක් සඳහා ගෙවීම් ලබාගනිමින් ඇමෙරිකානු ඩොලර් බිලියනයකට අධික ලාභයක් ඉපයනු ඇත.

    මේ වනවිට රජයේ බලශක්ති ප්‍රතිපත්තිය වන 2030 වනවිට රටේ බලශක්ති ඉල්ලුමෙන් 70%ක් සුනිත්‍ය බලශක්තියෙන් සැපිරිමේ ඉලක්කයට අනුව ඉදිරියේදී LNG අවශ්‍යතාව අඩු වන තත්වයක් තුල ඉහත සඳහන් කල අතිවිශාල TOP-LNG පරිමාවක් සඳහා ගෙවීමට එකඟවීමක් රජය විසින් සිදුකලහොත් එහි අනිටු ප්‍රථිපල මුලු රටටම ආර්ථික වශයෙන් විඳීමට සිදුවන අතර NFE සමාගම එයින් සුවිශාල ලාභයක් උපයාගනු ඇත.

    මෙම ගිවිසුමේ වඩාත්ම කණගාටුදායක තත්වය නම් එයට අනුව මිලදී ගන්නා පාර්ශවය ගිවිසුම් ප්‍රාකාරව යම් මාසයක් සඳහා භාවිතා කල ඉන්ධන ප්‍රමාණය අඩු බැවින් එකඟ වූ අතිවිශාල TOP-LNG පරිමාවක් සඳහා එක මසක ගෙවීම් සිදුකල යුතු අතර පසුව ඊලඟ මාසයේ LNG භාවිතා කරන විට පෙර මාසයේ වැඩිපුර භාවිතා නොකල LNG පරිමාව සඳහා වන අමතර ගෙවීම නොසලකා හැරෙන අතර ඊලඟ මාසය සඳහා වෙනම සියලුම ගෙවීම් සිදුකල යුතුය. ඒ අනුව බලනකල විකුණුම්කාර පාර්ශවයේ ගබඩා වල ඇති LNG එකම ධාරිතාව සඳහා දෙපාරක් මුදල් ගෙවීමට මිලදී ගන්නා පාර්ශවයට සිදුවනු ඇත. මෙම ගිවිසුමේ පරිදි අතිවිශාල TOP-LNG පරිමාවක් සඳහා රජය එකඟ වුවහොත් මෙරටට සිදුවන අනිටු ප්‍රතිවිපාකයන් හි තරම මෙම කරුණු තුලින් සිතාගත හැක.
  • එමෙන්ම අතිවිශාල TOP-LNG පරිමාවක් මිලදී ගැනීමට රජයට සිදුවන කොන්ත්‍රාත්තු බලාත්මක වූ විට මෙරටෙහි දැනට සිදුවන සියලුම විදුලි බලාගාරවල ශක්‍යතාව මත භාවිතාවන ඵලදායී ක්‍රමවේදය වෙනස් කරමින් LNG බලාගාර හරහාම විදුලිබල ජනනය කරන ලෙසට බලපෑම් කිරීමට දූෂිත බලවේග යොමු වීමේ වැඩි ප්‍රවණතාවක් පවතී.
  • NFE සමාගමේ පර්‍යන්ත පහසුකම් සඳහා වන කොන්ත්‍රාත්තුවට අනුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාවෙන ද්‍රවවායු ඉන්ධන ගබඩාව (Floating Storage Regasification Unit –FSRU) සඳහා අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 253ක මුදලක් ධාරිතා ගාස්තුව(Capacity Charge) ලෙසට වසර පහක් සඳහා වෙනම ගෙවිය යුතු අතර එය ගෙවන්නේ TOP-LNG පරිමාවක් සඳහා සිදුකරන ගෙවීමට අමතරවය.
  • 2021.09.06 දිනැතිව ගරු මුදල් අමාත්‍යවරයා විසින් වෙනත් පාර්ශවයකට ඉදිරිපත් විය නොහැකි ලෙසට සැකසූ NFE සමාගමේ යෝජනාවට අදාලව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ‍යොමු කලේය. එයට අනුව NFE සමාගමෙ යෝජනාව මගින් ලංකා විදුලිබල මණ්ඩලය මත බලපැවැත්වෙන FSRU සඳහා වන ධාරිතා ගාස්තුව(Capacity Charge) ලංකා විදුලිබල මණ්ඩලය මගින් තරඟකාරී මිලගණන් කැඳවීම යටතේ ලබාගත් ලංසු වල ඇති අගයන් සමග සංසන්දනය කර ඇති අතර එහිදී ඇමෙරිකානු සමාගමේ යෝජිත ගෙවීම් අගයන් ලාභදායි බවට සඳහන් කර ඇත. මෙය අමාත්‍ය මණ්ඩලය සහ රටේ මහජනතාව නොමග යැවීමට වැරදි අර්ථ නිරූපණයක් හරහා සිදුකල බරපතල අසත්‍ය කරුණක් බවට අවධාරණය කල යුතුය. සිය මූල්‍ය යෝජනා සැකසීම සඳහා ඇමෙරිකානු සමාගමට ලබාදිය හැකි සියලුම බදු සහන, පහසුකම් සහ ආයෝජන ප්‍රථිලාභ අදාල පාර්ශවයන් විසින් ලබාදී තිබූ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ තරඟකාරී මිලගණන් කැඳවීම යටතේ ටෙන්ඩර් ඉදිරිපත් කල එකදු සමාගමකට හෝ එම මූල්‍ය සහනයන් ලැබී තිබුණේ නැත. තත්වය එසේ තිබියදී උක්ත අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සිදුකල පරිදි ධාරිතා ගාස්තු(Capacity Charge) සංසන්දනයක් කිසිසේත්ම කල නොහැක.

    තවද NFE සමාගමේ ධාරිතා ගාස්තුව(Capacity Charge) වන FSRU ගබඩාවෙන් ලබාගන්නා ගෑස් ඒකක (MMBTU - Metric Million British Thermal Unit) මිලියනයක් සඳහා වූ ඇමෙරිකානු ඩොලර් 1.45ක මුදල LNG විදුලි බලාගාර මහාපරිමාණයෙන් භාවිතා වන ව්‍යාජ තත්වයක් සඳහා ලබාදුන් අගයකි. වත්මන් රජයේ බලශක්ති ප්‍රතිපත්ති මත මෙරටෙහි LNG බලාගාර ඉදිරියේදී භාවිතාවන සැබෑ ආකාරය සැලකූ විට ඉහත ඇමෙරිකානු සමාගමේ ධාරිතා ගාස්තුවේ සැබෑ අගය FSRU ගෑස් ඒකක(MMBTU -Metric Million British Thermal Unit) මිලියනයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 3.00ද ඉක්මවිය හැක.
  • පෙර සඳහන් කල කැබිනට් පත්‍රිකාව මගින් මූල්‍ය ශක්‍යතාව සම්බන්ධයෙන් අවධානය යොමු වියයුතු ප්‍රධානතම කරුණු රැසක් වසන් කර ඇතිබව ඉතාම පැහැදිලිය. පර්‍යන්ත ඒකකය සහ බටනල එලීම වෙනුවෙන් යන වියදම (ඇ.ඩො මිලියන 250ක් පමණ) LNG සැපයීමේ කොන්ත්‍රාත්තුව (වසර 10ක් සඳහා ඇ.ඩො මිලියන 6000ක් පමණ) හා සසඳා බැලීමේදී සාපේක්ෂව සුලු මුදලකි. සමස්ථ කොන්ත්‍රාත්තුවේ වියදමෙන් 95%ක් පමණ ආවරණය වන්නේ අදාල කාල සීමාව සඳහා වන LNG ඉන්ධනය ලබාදීම මගිනි.
  • FSRU සඳහා සැකසෙන ගිවිසුම් ඉතාම සංකීර්ණ ස්වභාවයක් ගනී. විදෙස් සේවා කුලී ගාස්තු, වගකීම් ප්‍රතිපූර්ණය, අයහපත් සාගර තත්ව යටතේ මෙහෙයුම් කිරීම, මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය තුල අඛණ්ඩව LNG ඉන්ධන සැපයීමට වගවීම වැනි කරුණු රැසක් මෙම ගිවිසුම් තුල අන්තර්ගත විය යුතු නමුත් ප්‍රශ්නගත ගිවිසුමේ මෙම කරුණු කිසිවක්ම අන්තර්ගත වී නොමැත.
  • West Coast Plant Limited (WCPL) බලාගාරයේ කොටස් 40%ක් මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක් ලබාදීමට NFE සමාගම සලකා බලා ඇති අතර රජයේ ප්‍රධාන තක්සේරුකරුට අනුව එම අගයන් තක්සේරු කල කොටස් වල වටිනාකමට වඩා බොහෝ අඩුය.
  • මෙහිදී NFE සමාගම අදාල බලාගාරයේ භාවිතා සාධකය(Plant Factor) 70% ලෙසට සලකා කටයුතු කිරීමට තීරණය කර ඇත.මෙමගින් ලංකා විදුලිබල මණ්ඩලයට ජල විදුලි බලාගාර වැනි අඩු වියදම් බලාගාර යෙදවිය හැකි අවස්ථාවල පවා LNG බලාගාර භාවිතා කිරීමට සිදුවන අතර එමගින් විශාල පාඩුවක් දැරීමට එම ආයතනයට කටයුතු සැලසෙනු ඇති අතර ඇමෙරිකානු සමාගම අධික ලාභයක් උපයාගනු ඇත. තවද ඉහත වැනි ඉහල භාවිතා සාධකයක් (Plant Factor) සහිතව මෙම LNG බලාගාර භාවිතා කිරීමට අතිවිශාල TOP-LNG පරිමාවක් මිලදී ගැනීමට එකඟ වීමටද සිදුවීම වැලැක්විය නොහැක.
  • දැනට ලංකා විදුලිබල මණ්ඩලය සහ West Coast Plant Limited(WCPL) බලාගාරය අතර ඇති බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම ඉදිරියේදී මේ අනුව සංශෝධනය වුවහොත් අධික මිලගණන් එයට ඇතුලත් වන බවට කිසිදු සැකයක් නැත.
  • වර්තමානයේ බලාත්මක බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමට අනුව 2022 වර්ෂයේ සිට මෙම බලාගාරයට අදාල ණය වාරික බොහෝ දුරට ගෙවා අවසන් බැවින් එහි කොටස් හිමිකරුවන් හට සැලකියයුතු ලාභයක් උපයාගැනීමට හැකිවනු ඇති අතර එයිනුත් වැඩි කොටස මෙම ඇමෙරිකානු සමාගම විසින් අත්පත් කරගනු ඇත.
  • West Coast Plant Limited(WCPL) බලාගාරයේ වර්තමාන කොටස්කරුවන් (මහා භාණ්ඩාගාරය - 50%, අර්ථසාධක අරමුදල - 27%, ලංකා විදුලි පුද්ගලික සමාගම(LECO) – 18%, ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගම(LTL) – 5%) සියල්ලෝම මෙරටෙහිම ආයතන වන අතර එම සමාගමේ ආදායම උක්ත කොටස්කරුවන් අතර බෙදී යන්නේ ශ්‍රී ලංකා රුපියල් වලිනි. නමුත් මෙම සමාගමේ කොටස් වලින් 40%ක් ඇමෙරිකානු සමාගමට ලබාදුන් විට ඉදිරියේදී එම සමාගමට අදාල ලාභාංශය ඇමෙරිකානු ඩොලර් වලින් ගෙවීමට සිදුවනු ඇති අතර එමගින් මෙරටෙහි විදෙස් මුදල් සංචිතය විශාල වශයෙන් පිටරටකට ඇදී යාම වැලැක්විය නොහැකි වනු ඇත.
  • මෙසේ සිදුවනවිට වඩාත්ම අවාසනාවන්ත තත්වය නම් රජය මෙම කොටස් විකිණීමෙන් ලබාගැනීමට බලාපොරොත්තුවන ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදල ඉහත පැහැදිලි කල පරිදි වසර කීපයක් තුල පිටරටට මුලුමනින්ම ඇදීයාම වැලැක්විය නොහැකි වීමයි.
  • මේ අනුව නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම විසින් ලබාදී ඇති TOP-LNG සැපයීමේ යෝජනාව සහ ඔවුන් ඉල්ලා සිටින බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමේ සංශෝධන වලට අනුව West Coast Plant Limited(WCPL) බලාගාරයේ වර්තමාන සැබෑ භාවිතා සාධකය(Plant Factor)ට අනුව එක විදුලි ඒකකයක් මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලයට රු.30.00ක් වැයවන බවට ගණන් බලා ඇත. ඒ ආකාරයෙන් සංසන්දනය කර බැලූ විට මෙම බලාගාරයෙන් දැනට ඇති බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමට අනුව ඛණිජ තෙල් ඉන්ධන වශයෙන් යොදාගෙන බලශක්තිය මිලදී ගත්තද එය ලංකා විදුලිබල මණ්ඩලයට වාසි සහගතය.
  • උක්ත සමාගම සමග මෙරට මුදල් අමාත්‍යංශය පෙරදී අත්සන් කල මූලික ප්‍රතිපත්ති රාමුව සහ වර්තමානයේ සිදුවන ක්‍රියාවලිය හාත්පසින්ම වෙනස් තත්වයකට පත්වී ඇත. එම ප්‍රතිපත්ති රාමුව තුල අදාල ඇමෙරිකානු සමාගම WCPL බලාගාරයේ විදුලි ඒකකයක් ඇමෙරිකානු ඩොලර් සත 9.9කට (රු. 19.80කට පමණ) ලබාදීමට එකඟ වූ අතර ඔවුන්ගේ නව යෝජනාවලියට අනුව එම අගය රුපියල් 30.00ක් දක්වා වැඩි කර ඇත.
  • මෙම කරුණු සියල්ල සබුද්ධිකව විමසූ කල මෙම නිව් ෆෝට්‍රස් එනර්ජි ඇමෙරිකානු සමාගමේ ප්‍රධාන ඉලක්කය WCPL බලාගාරයේ කොටස් 40%ක් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් දී මිලදී ගැනීම නොවන බවත් ඔවුන්ට අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් වටිනා LNG සැපයීමේ ටෙන්ඩරය සහ එම ඉන්ධනය සැපයීමේ සියලු බලාධීකාරය තරඟයකින් තොරව තමන්ට වසර පහක් සඳහා ලබා ගැනීම බවත් ඉතාම පැහැදිලිය. එය සාක්ෂාත් කරගතහොත් ඔවුන් විසින් ඉදිරි වසර පහ සඳහා මෙරටෙහි බලශක්ති ක්ෂේත්‍රය සහ ජාතික ආරක්ෂාවට දැඩි බලපෑම් එක්ක කරමින් රිසිසේ සිය ලාබයන් උපයා ගැනීමට අවශ්‍ය මංපෙත් විවර කරගනු ඇත.
  • මේ දක්වා මෙම ඇමෙරිකානු සමාගමේ යෝජනාවලිය පිලිබඳව නිසි සාකච්ඡා කිරීමක් තුලින් ලංකා විදුලිබල මණ්ඩලයෙන් උපදේශනයක් ලබාගැනීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර නොමැති අතර එහි නිලධාරීන් විසින් සිය අභිමතය පරිදි මෙම ක්‍රියාවලිය පාලනය කරන බව මනාව පසක් වී ඇත.
  • මෙරටෙහි විදුලිබල සැපයුම සඳහා LNG ඉන්ධන භාවිතය පිලිබඳව ලංකා විදුලිබල මණ්ඩලය විසින් දීර්ඝ කාලයක් විශාල මුදලක් වැය කර ශඛ්‍යතා අධ්‍යනය කර සැලසුම් සකස් කල අතර මෙම ඇමෙරිකානු සමාගම කූට ආකාරයෙන් එම සියලුම තොරතුරු ලබගෙන කිසිදු අපහසුවකින් තොරව සිය ව්‍යාපෘති යෝජනාවලියට ඇතුලත් කර ඇත.
  • මෙම NFE සමාගමේ අහිතකර ව්‍යාපෘති යෝජනාව යම් හෙයකින් ක්‍රියාත්මක වුවහොත් එය ඉදිරියේදී මෙරටෙහි සිදුවන සියලුම LNG බලාගාර සඳහා ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය FSRU සහ නල පද්ධතියේ අයිතිය එම සමාගමට හිමිවන බැවින් තවදුරටත් එම නව බලාගාර සඳහා තරඟකාරී මිලගණන් කැඳවීමේ ටෙන්ඩර් මගින් LNG ඉන්ධනය ලබාගැනීමට නොහැකිවනු ඇති අතර එම අවශ්‍යතාවන් සියල්ල උක්ත ඇමෙරිකානු සමාගමෙන් ඔවුන්ගේ කොන්දේසි වලට යටත්ව සපුරා ගැනීමට සිදුවනු ඇත.
  • වර්ථමානයේ බලශක්ති අමාත්‍යංශය මගින් මන්නාරම ද්‍රෝණියෙ ඇති LNG නිධියට අදාල විමර්ෂණයන් සිදුකරගෙන යන අතර මෙම ඇමෙරිකානු සමාගම සමග ඔවුන් ඉදිරිපත් කරන යෝජනාවලියට ගිවිසුම්ගත වුවහොත් ඉදිරියේදී එසේ සොයාගන්නා LNG ඉන්ධනය මෙරට බලශක්තිය නිපදවීමට භාවිතා කිරීමේ හැකියාව පවා මෙරටට ඇහිරී යනු ඇත.

ඉහත කරුණු සම්බන්දයෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් අතිගරු ජනාධිපති තුමාට යවනලද ලිපිය පහතින් දක්වා ඇත



 

Eng. Saumya Kumarawadu

President - Ceylon Electricity Board Engineers Union (CEBEU)
Present position in CEB : Project Manager, Power System Reliability Strengthening Project.
BSc Eng (Hons) in Electrical Engineering, University of Moratuwa.
MSc in Electrical Engineering, U'sity of Moratuwa.
Charted Electrical Engineer ( MIESL)

 


Facebook Twitter LinkedIn Email Print