පුනර්ජනනීය බලශක්ති ඉලක්කය වෙත යෑමට පෙර රටේ ජාතික සැලැස්මක් හා විදුලි බල පද්ධතියට මොඩලයක් අවශ්‍යයි

මහාචාර්ය ජනක බී. ඒකනායක සමග

Following is an interview published on Aruna Newspaper on 2021/09/16 conducted with Eng. (Prof.) Janaka Ekanayae about renewable energy.


වසර 2030 වන විට රටේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනීය බලශක්ති මූලාශ්‍ර මගින් උත්පාදනය කළ යුතුය යන ආණ්ඩුවේ දැක්ම අනුව මේ වන විට පුනර්ජනනීය නොවන බලශක්ති බලගාර වෙත ඇති නැඹුරුව අවම වෙමින් පවතී. ඉකුත් දා යෝජිත තාප විදුලි බලාගාරයක් අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කිරීම එයට උදාහරණයකි. නමුත් එයට සාපේක්ෂව පුනර්ජනනීය බලශක්ති ඉලක්කයන් වෙත නැඹුරුවීමේ හැකියාව පවතීද? එය කෙතරම් දුරට ප්‍රායෝගිකද? ඒ සඳහා යෙදිය යුතු සැලසුම් මොනවාද? ආදී වශයෙන් අප විසින් විමසනු ලැබුවේ මෙකි විෂය සම්බන්ධයෙන් ජාතික සහ ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වූවකුගෙනි. පේරාදෙනිය විශ්විවිද්‍යාලයේ විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු අංශයේ ප්‍රධාන මහාචාර්ය, එංගලන්තයේ කාර්ඩිෆ් විශ්වවිද්‍යාලයේ භාහිර මාහාචාර්ය, ඔiafÜ%ලියාවේ වොලන්ගොන් විශ්වවිද්‍යාලයේ ගෞරවනීය මහාචාර්ය, පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීමේ ස්මාර්ට් ග්‍රිඩ් නමැති විෂය පිළිබඳව ජාත්‍යන්තර ග්‍රන්ථකරණයක යෙදුණු මෙන්ම මහජන උපයෝගිතා කොමිසමේ උප සභාපති ධුරය හොබවන මහාචාර්ය ජනක බී. ඒකනායක මහතා සිය දැනුම් සම්භාරය සහ අත්දැකීම් ඇසුරින් එය පැහැදිළි කළේ මෙසේය.


පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් යනු කුමක්ද සහ වර්ථමානයේ ලොව භාවිතා වන එකී ප්‍රභේද මොනවාද යන්න පැහැදිළි කළොත්...,

මේ සෑම බලශක්ති ප්‍රභවයකම මූලික සම්පාදකයා වන්නේ සූර්යායි. නමුත් ගල්අඟුරු සහ පොසිල ඉන්ධන වන ඩීසල් ආදිය, බලශක්ති ප්‍රභවයක තත්ත්වයට පත්වෙන්න දීර්ඝ කාලයක් ගතවෙනවා. නමුත් පුනර්ජනනීය බලශක්තිය ගණයට ගැනෙන්නේ සූර්යාගෙන් මොහොතකින් ලබාගත හැකි, හැම මොහොතකම අලුත් වෙන බලශක්ති ප්‍රභවයන්. සූර්යාලෝකය සූර්ය කෝෂයක් මතට වැටීමේදී හටගන්නා ‘‍ෆොටෝ වෝල්ටික්’ නැමති සංසිද්ධිය නිසා උත්පාදනය වන විද්‍යුතයත්, සුලං බලයෙන් හටගන්නා විද්‍යුතයත් තමයි පූනර්ජනනීය බලශක්තියේදී විශාල වශයෙන් වැදගත්වන්නේ. ශාඛ කොටස් දැවීමෙන් හෙවත් ‘බයෝ මෑස්’ ක්‍රමවේදයෙන් විදුලිය නිෂ්පාදනයත් පුනර්ජනනීය බලශක්තියක් හැටියට යමෙකුට හඳුන්වන්න පුළුවන්. මුහුදු රළ යොදාගැනීමෙන් විදුලිය නිපදවීමත් එවැනි ප්‍රභේදයක්. නමුත් එම නිෂ්පාදනය ඉතා වියදම් අධිකයි.


මේ පුනර්ජනනීය බලශක්තිය ජාතික සහ ජාත්‍යන්තර මාතෘකාවක් වීමට හේතුව හෙවත් එහි ඇති මේ සා සුවිශේෂී වැදගත්කම කුමක්ද?

පූනර්ජනනීය බලශක්ති වල සමස්තයක් ලෙස වාසි රාශියක් ඇතත් ඒවා ඒ ඒ ක්ෂේත්‍රවලට අනුව පුද්ගලයන් භාවිතා කරන කණ්නාඩි වලට සාපේක්ෂව බලන නිසා විකෘති වී ඇත. උදාහරණයක් හැටියට අප වැනි රටක දේශපාලන ක්ෂේත්‍රයේ ‍අයෙක් නම්, ඔහුට පේනවා අද වන විට මේ රට ගල් අඟුරු සහ ඩීසල් ආනයනය වෙනුවෙන් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 565ක් වැනි සුවිශාල වියදමක් දරන බව. නමුත් පුනර්ජනනීය බලශක්තිය අපට ලැබෙන්නේ නොමිලේමයි. ඒ අනුව දේශපාලකයාට කියන්න පුළුවන් පුනර්ජනනීය බලශක්තිය මගින් අපට මේ සා විදේශ විනිමයක් ඉතිරිකරගත හැකි බව. අර්ථික විශේෂඥයෙක්ගේ කණ්නාඩියෙන් බැලුවොත් ඔහු කියන්න පුළුවන් ලොව මේ වන විට බොහොම අඩු මිලට ටෙන්ඩර් වූ පුනර්ජනනීය බලශක්ති බලාගාර පවතින බව. උදාහරණයක් වශයෙන් කටාර් හී පැවැති මෙගාවොට් 800ක මෙවැනි බලාගාරයකින් ටෙන්ඩර් පටිපාටිය යටතේ, කිලෝවොට් පැය 1ක් ආසන්න වශයෙන් රුපියල් 3ක මිලකට තමයි අරගෙන තිබෙන්නේ. ඉන්දියාවේ එවැනි සූර්යශක්ති බලාගාරයකින් ටෙන්ඩර් වෙලා තිබුණේ කිලෝවොට් පැය 1ක් රුපියල් 10කට. මේවා විශේෂිත අවස්ථා මිස හැම තැනම එසේ නෙමෙයි. නමුත් ගල් අඟුරු හෝ ඩීසල්වල වියදමට සාපේක්ෂව මේවා යම් ලාභදායී බවක් පෙන්වනවා. පරිසරවේදියකුට අනුව‍ පුනර්ජනනීය ‍බලශක්තිය බොහොම පිරිසිඳු උත්පාදන ක්‍රමවේදයක්. මොකද එක ගල් අඟුරු බලාගාරයකින් එක් කිලෝවොට් පැය එකක් නිෂ්පාදනය කිරීමේදී කාබන් ඩයොක්සයිඩ් ග්රූම් 800ක් වාතයට මුදාහරිනවා. මෙය ඩීසල් හෝ ගෑස් බලාගාරයක නම් ග්රෑම් 500ක්. එයට සාපේක්ෂව පුනර්ජනනීය බලශක්තියෙන් මුදාහරින්නේ ග්රෑම් 25යි. ඒ වගේම පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව දැඩි උනන්දුවෙන් පෙනී සිටින අයකුගේ කණ්නාඩියට අනුව ශ්‍රී ලංකාවේ සමස්ත බලශක්ති අවශ්‍යතාව පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගැනීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව ඒ ඒ කණ්නාඩියෙන් මෙහි වැදගත්කම ඒ ඒ අයුරින් දැක්වෙනවා. නමුත් සමස්ථ ඇසෙකින් බැලීම ඉතා වැදගත් වනවා.


සැබැවින්ම පුනර්ජනනීය බලශක්තිය මගින් මෙරට විදුලිබල අවශ්‍යතාව සහමුළින්ම සපුරාගන්න පුළුවන්ද?

වර්ෂ 2030 වන විට ලංකාවේ විදුලිබල අවශ්‍යතාව මෙගාවොට් 5000ක් කියලා පුරෝකථනය කෙරෙනවා. මේ වන විට අපට තිබෙන ජලවිදුලි විභවය අනුව හොඳින් වර්ෂාව පවතිද්දී අපට මෙගාවොට් 2000ක් පමණ හදන්න පුළුවන්. සූර්යකෝෂ භාවිතාවට ඇති හැකියාව බැලුවොත් අපට එයින් වසරකට කිලෝවොට් 3000ත් 6000ත්අතර ධාර්තාවක් උත්පාදනය කරන්න හැකියාව තිබෙනවා. සුළං බලයෙන් අපට මෙගාවොට් 5600ක් උපදවාගැනීමේ හැකියාව තිබෙනවා. බයෝමෑස් වලින් මෙගාවොට් 2500ක් ගන්න පුළුවන්. මම අවධාරණයෙන් කියනවා, මේ කියන ප්‍රමාණයන් මේ අවස්ථාව වන විට නිපදවන ප්‍රමාණයන් නොවෙයි, නිපදවිය හැකිබවට ගණන් බලා තිබෙන ප්‍රමානයන් බව.


ඔබ ‘ඒ ඒ කණ්නාඩිවලින්’ කියන වචන පෙළ මෙහිදී භාවිතා කළා. සැබැවින්ම ඔය කියන කණ්නාඩි ඉවත් කරලා බැලුවොත් ඔය කියන වාසි ඔය අයුරින්ම දැක්විය හැකිද?

පුනර්ජනීය බලශක්තියට නැඹුරුවීමේදී දැනට රටේ පවතින පුනර්ජනනීය නොවන අනෙකුත් විදුලි බලාගාර සහමුළින්ම ඉවත්කිරීම ප්‍රායෝගික නෑ කියන තැන පටන් පැහැදිළි කරමු. සාමාන්‍යයෙන් වර්ෂාව හොඳින් පවතිද්දී අපේ විදුලි අවශ්‍යතාවයෙන් 25%ක් ජල විදුලියෙන් පිරිමහගන්න පුළුවන්. අද වන විට පවතින තාප බලාගාර අතුරින් ප්‍රමුඛ වශයෙන් අපි යොදාගන්නා ගල් අඟුරු බලාගාර මෙගාවොට්900ක ධාරිතාවයෙන් යුක්තයි. නමුත් තවදුරටත් ගල් අඟුරු බලාගාර ගේන්නේ නෑ කියලා ගත්තු තීන්දුවත් සමග 2030 වන විට ඇතිවන විදුලිබල අවශ්‍යතාවයෙන් 14%ක් තමයි ගල් අඟුරුවලින් සපයන්නට වෙන්නේ. ඒ අනුව, ජල විදුලි නිෂ්පාදන ධාරිතාවත් ඇතුළත්ව 2030දී 70%ක පුනර්ජනනීය බලශක්තියක් සඳහා අවස්ථාව තිබෙනවා. නමුත් එය ලබාගැනීමේදී පාරිභෝගිකයාට අඛණ්ඩ සහ හොඳ තත්ත්වයෙන් යුත් විදුලි සැපයිමක් ප්‍රායෝගිකව සැපයිය හැකිද යන්නයි මෙහිදී සැබැවින්ම අප කථා කළ යුත්තේ. ඒ වෙනුවෙන් මා බොහොම සරළ ගණන් හැදීමක් මේ ආකාරයෙන් සිදුකළා. අපගේ විදුලිබල පද්ධතියට නුදුරේදීම මෙගාවොට් 350ක එල්.එන්.ජී (ද්‍රවකෘත ස්වභාවික වායු) බලාගාරයක් එකතුවෙනවා. මෙය ඉදිකිරීම සඳහා වියදම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 150-200 අතර වෙනවා. අපි මේක සූර්ය ශක්තියෙන් කළොත්, මේ ධාරිතාව නිෂ්පාදනය සඳහා වන ඉදිකිරීමට ප්‍රාග්ධනය ඇමරිකානු ඩොලර් මිලියන 245ක් පමණ වැය වෙනවා. ඒ අනුව මෙම ඉදිකිරීමේ වියදම වැඩියි. නමුත් එල්.එන්.ජී බලාගාරයේ නිරන්තර මෙහෙයුම් පිරිවැයක් තිබුණත් සූර්ය ශක්තියේදී ඒ පිරිවැය අවමයි. ඒ අනුව යොදන ප්‍රාග්ධනය වැඩි වුනත්, දීර්ඝ කාලීනව බැලීමේදී සූර්ය ශක්ති බලාගාරය ලාභාදායි වෙනවා. නමුත් එල්.එල්.ජී බලාගාරය අපට සතියේ දවස් හතම පැය 24 පුරාම ක්‍රියාත්මක කරන්න පුළුවන්. නමුත් සූර්ය බලශක්ති බලාගාරය දුවන්න පුළුවන් හිරු එලිය තියෙන කාලයේදී විතරයි. ඒ කියන්නේ උපරිම උදේ 6 ඉදන් හවස 6 වෙනකම්. මේ දෙක අතර සංසන්ධනයේ තව දෙයක් තමයි, තාප විදුලි බලාගාරයක් හැදීමේදී එයට එකවර සම්පූර්ණ මුදලක් වැයකරන්න වෙනවා. නමුත් සූර්යශක්ති බලාගාරයක් ඉදිකිරීමේදී එයට එකවර මුදල යටනොකර කොටසින් කොටස ධාරිතාව වැඩිකරගෙන යන්න පුළුවන්. මේ කොයි අතින් බැලුවත් සූර්ය ශක්තිය හොඳයි කියන එක තමයි බැලූ බැල්මටම පෙනෙන්නේ. නමුත් එය යොදාගැනීමේදී ඇති අභියෝගය වන්නේ මෙය වෙනස්වනසුළු වීමයි. ඒ කියන්නේ දවසපුර ඒකාකාරී සූර්යශක්තියක් ලැබෙන්නේ නෑ වගේම වලාකුළක් නිසා එය අඩුවෙන්නත් පුළුවන්. එතැනදි ජාතික විදුලිබල පද්ධතියට, පාරිභෝගිකයා ඉදිරියේ නිදහසට කාරණා කියන්න බැහැ සූර්යකෝෂ පද්ධතියට උඩින් වලාකුලක් ආවා, ඒ නිසා ඔයගොල්ලන්ට විදුලිය දෙන්න බැහැ කියලා. මේ කියන වාසි අවාසි දෙකම මෙතැන තිබෙනවා.


ඇයි අපිට බැරි සූර්ය කෝෂ යොදාගැනීමේදී උත්පාදනය වන විදුලිය බැටරි ආරෝපනයක් වැනි ගබඩාකිරීමක් කරලා ඒකාකාරී බෙදාහැරීමක් කරන්න?

ඔව් එහෙම කළොත් දවල් කාලයේදී නිපදෙවන විදුලිය රාත්‍රී කාලයේදී පවා යොදාගන්න පුළුවන්. ගබඩා කළ විදුලිය ඒකාකාරීව සපයන්නත් පුළුවන්. නමුත් මේ සඳහා යොදාගන්න බැටරි මිලෙන් ඉතාම ඉහළයි. එහෙම වුනොත් මේ කියන ප්‍රාග්ධන වියදම තවත් සැලකිය යුතු ලෙසින් ඉහළ ගොස් එය දරාගත නොහැකි ප්‍රාග්ධන වියදමක් වෙන්නත් පුළුවන්. නමුත් ඒ බැටරිවල මිල ගණන් මේ වෙනකොට අඩුවීගෙන යන බවත් මම මතක් කරන්න ඕනි. පුනර්ජනීය බලශක්තිය කරා යන ගමනේදී විදුලිය ගබඩා කිරීම සදහා pump hydro බලාගාර අත්යවශ්ය වෙනවා. මෙවැනි බලාගාර වල දවල්ට පහලින් ඇති ජලාශයක ඇති ජලය ඉහලින් ඇති ජලාශයකට සූර්ය බලය මගින් පොම්ප කර රාත්රියට ඉහලින් ඇති ජලාශයේ ඇති ජලය පහලින් ඇති ජලාශයට යාමට සැලැස්වීමෙන් විදුලිය ජනනය කල හැක.


ඔය කියන විදිහට මෙහි වාසි අවාසි දෙකම තියෙනවා. මෙම අවාසි අවම වන ලෙසින් සහ වාසිය යොදාගන්නා ලෙසින් මෙය කළමනාකරණ‍ය කිරීමේ වගකීම ඇත්තේ කාටද? කොහොමද?

ඒ වගකීම පැවරෙන්නේ අපි වගේ උදවියට. ඒ කියන්නේ විදුලි ඉංජිනේරු ක්ශේත්‍රයේ අයටයි. මේ අය හරියට සැලසුම් කරන්නේ නැතිව කව්රුහරි දේශපාලනඥයෙක්, ආර්ථික විශේෂඥයෙක්, පරිසරවේදියෙක් ආදී අය කියන විදිහට වැඩ කරන්න ගියොත් හැමෝම අමාරුවේ. මෙය සැලසුම් කර, කළයුතු හොඳ දෙයක්. ඒ නිසයි මම හිතන්නනේ ජාතික සැලැස්මක් සකස් කර ක්රමානුකුලව පුනර්ජනීය බලශක්තිය අපගේ විදුලිබල පද්ධතිය සම්බන්ධ කල යුතුයි කියලා.


2030දී 70%ක පුනර්ජනනීය බලශක්ති යැපුමකට යනවාය කියලා මේ වන විට ආණ්ඩුව පැහැදිලි ස්ථාවරයක සිටිනවා. නමුත් එතැනට යන්න මෙය ක්‍රමවත්ව කළමනාකරණය කරගන්නම වෙනවා. එහිදී සිදුවිය යුතු පිළිවෙල කුමක්ද?

මේ පද්ධති හදන්න කලින්, රටේ ජනතාවගේ ඔලුව එතැනට හදන්න වෙනවා. ඒ කියන්නේ පොදු මහජනතාවට වගේම විදුලි ඉංජිනේරුවන්ගෙත්. එය 70%ක් තරම් දෘඩ ඉලක්කයක් බවට පත්කිරීමත් මෙය අනිවාර්යෙන්ම සිදුවන සහ සිදුවිය යුතුම දෙයක් හැටියට දක්වා සිටීමත් මගින් මිනිස්සු සූදානම් වෙයි. එයට පෙළැඹෙයි. ඒ සඳහා සැලසුම් සකස් වෙයි.


මේ කියන විදිහට වසර දහයකට පමණ එපිටින් වන ඉලක්කයක් ගැනීමට නම් ඔබ කියන ආකාරයට එය ජාතික ප්‍රතිපත්තියක් බවට පත්විය යුතුයි. අපගේ විදුලිබල සම්පාදනය වෙනුවෙන් වන එවැනි ජාතික ප්‍රතිපත්තියක් සැකසීම පිණිස වන පර්යේෂණ පදනමක් අප සතුව තිබෙනවාද? නැතිනම් ඒ වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද?

මොන රට ගත්තත්. එහි විදුලි බල පද්ධතිය කියන්නේ ඉතාම සංකීර්ණ පද්ධතියක්. එහි වෙනසක් කිරීම සරල කටයුත්තක් නෙමෙයි. එංගලන්තය, ඔiafÜ%ලියාව වැනි රටවල තිබෙනවා විදුලිබල පද්ධතියේ මොඩලයක්. පුනර්ජනීය බලශක්තිය වෙත යන ගමනෙදි එවැන්නක් කිරීම විශේෂ යෙදීමක් සහිතව කළ යුත්තක්. නමුත් එය ගොඩනගාතහොත් එතැන සිට අපට පුළුවන් එක තැනකින් සුලං බලය යෙදවුවොත් මොකද වෙන්නේ, තවත් තැනකින් සූර්ය බලශක්තිය යෙදුවොත් මොකද වෙන්නේ ආදි වශයෙන් යොදමින් අදාළ පර්යේෂණය සහ විශ්ලේෂණය සිදුකරන්න. එතකොට යම් වෙලාවක රටේම විදුලිය ඇනහිටීමක් වැනි කරුණකදී ඒ අයට අදාළ මොඩලය ඇසුරෙන් කියන්න පුළුවන් කොතැනද, මොකක්ද වුනේ කියලා. අවාසනාවකට අපේ රටේ තවම එවැනි දෙයක් නැහැ. ඒ නිසා තමයි විදුලිය ඇනහිටීමකදී කමිටු පත්කරලා වාර්තා ඉල්ලන්න වෙලා තියෙන්නේ. ජාතික ප්‍රතිපත්තියකට පාදක වන පර්යේෂණ යටිතලය ගොඩනගන්න නම් එවැනි වූ මොඩලයන් අවශ්‍යයි. එවැනි මොඩලයක් හැදීමේදී පර්යේෂකයන් සහ විදුලි ඉංජිනේරුවන් අතර මනා අන්‍යෝන්‍ය අවබෝධයක්, සබඳතාවක් තිබිය යුතුයි. ඒ එකතුවෙන් හරි මොඩලයක් හදලා, එයට යන වියදම තක්සේරු කරලා රජයට ඉදිරිපත් කිරීම මගින් ශඛ්‍යතාව විමසා බැලීම සිදුකළ යුතුයි.


ඔය පවසන ලෙසට මෙම අනාගත ඉලක්කයන් සපුරාලීමේදී විදුලි ඉංජිනේරුවාගේ කාර්යභාරය තීරණාත්මකයි. සැබැවින්ම අපේ විදුලිබල ඉංජිනේරුවන් ඔවුන්ගේ ‘කණ්නාඩියෙන්’ ඔවුන් පුනර්ජනනීය බලශක්තිය දකිනවා ඇත්තේ කෙසේද?

ඒ අයගේ කණ්නාඩියෙන් ඒ අය දකින්නේ පුනර්ජනනීය බලශක්තිය කියන්නේ අද තිබේන පද්ධතීය උඩු යටි කරන බලශක්ති ප්‍රභවයක් කියා. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම ගත්තත් විදුලිබල ඉංජිනේරුවන්ට එහෙම අදහසක් තිබෙනවා. මොකද පුනර්ජනීය නොවන බලශක්ති මත යැපීමේදී පවතින තත්ත්වයන් අනුමාන කිරීම පහසුයි. නමුත් පුනර්ජනනීය බලශක්තියේදී පවතින තත්ත්වයන් අනුමාන කිරිම අපහසුයි. උදාහරණයක් වශයෙන් අපේ විදුලිබල මණ්ඩලයට දිනයේ එක වෙලාවක් අරගෙන තීරණය කරන්න පුළුවන් අද අපි මේ වෙලාවෙ ඉඳන් මේ වෙලාව දක්වා අසවල් ජලාශයේ ටර්බයින මගින් මේ විදුලි ධාරිතාව ලබාගන්නවා. අසවල් තාප බලාගාරයෙන් මේ විදුලි ප්‍රමානය ගන්නවාය කියලා. නමුත් පුනර්ජනනීය බලශක්තිය වෙත යෑමේදී මෙම ස්වභාවික තත්ත්වයන් අපේ වසඟයේ පවත්වන්නට නොහැකි නිසා, අද දවසේදි සූර්යකෝෂ වලින් මේ තරම් විදුලියක් ගන්නවා, සුළඟින් මේ තරම් විදුලියක් ගන්නවාය කියලා පුරෝකථනයන් කරන්න බැහැ. ඒ නිසා එවැන්නකදී අපට පැයකට වරක් තීරණය කරන්න වෙනවා මේ පැයේ අපි මොන මොන බලාගාරද යොදාගන්නේ කියන එක. ඒ නිසා පුනර්ජනනීය නොවන බලශක්තියේදී දවසට එකවරක් කරපු සැලසුම පුනර්ජනනීය බලශක්තියේදී පැයකට වරක් කරන්න වෙනවා. මෙය සාපේක්ෂව සංකීර්ණ වැඩක්.


එසේ කරමින් හෝ මේ අවශ්‍යතා සපුරාගෙන ඔය කියන්නා වූ සියයට 70 ඉලක්කයට යන්නට හැකි වුනොත් එදාට මෙරට ජනතාවට සහ කර්මාන්ත ක්ශේත්‍රයට විදුලි බිලේ සහනයක් වෙයිද? අප රටට අයෝජක ආකර්ශනය අඩුවීමටත් රටේ විදුලිබිල වැඩිවීම හේතුවක්ය කියලා කියැවෙන නිසා, විදුලි බිල අඩුවීමක ආර්ථිකමය අතින් අතුරු ලාභයක් ලැබීමේ අවස්ථාවත් ඒ සමග රැ‍‍ෙඳනවා නේද?

පුනර්ජනනීය බලශක්තියෙන් එකී ඉලක්කය සපුරාලීමට නම් ඒ සඳහා එයට සාපේක්ෂ ප්‍රාග්ධන වියදමක් දරන්නට සිද්ධවෙනවා. එය පියවාගැනීමට සිදුවන්නේ මේ විදුලි බිලෙන්. ඒ නිසා මෙවැනි පුනර්ජනනීය බලශක්ති ඉලක්කයක් වෙත ගියත්, එකවර විදුලි බිලේ අඩුවීමක් බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් කාලයත් සමග එහි ලාභය පාරිභෝගියන්ට ලැබෙන්න පුළුවන්.

සාකච්ඡාව -ඉන්ද්‍රජිත් සුබසිංහ

Download article as pdf


 

Eng. (Prof.) Janaka B. Ekanayake

Ph.D. (UMIST, UK), B.Sc.Eng (Peradeniya, Sri Lanka)
Department of Electrical & Electronic Engineering
Faculty of Engineering
University of Peradeniya

 


Facebook Twitter LinkedIn Email Print