ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණය ඉතිහාසය

ඉංජිනේරු ධනුෂ්ක නුවන් බණ්ඩාර විසිනි

පෙර කලාපයෙන් පොරොන්දු වූ පරිදිම අප මෙම කලාපයෙන් ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණය ගැන කතා කිරීමට බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් ගවේෂණය පරිපාලනය කරනු ලබන්නේ PRDS ලෙස ප්‍රසිද්ධ බලශක්ති අමාත්‍යාංශයට අයත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය විසින්. ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණය ේ ආරම්භය 1950 පෙර කාලයට දිව යන්නක්. 1984 ට පෙර ලබා ගත් දත්ත “ පැරණි දත්ත” හා 2001 ට පසු දත්ත “නව දත්ත” ලෙස සැලකෙනවා.

ප්‍රාග් ඓතිහාසික යුගයේ අප්‍රිකානු රිෆ්ට් පද්ධතියේ හරය තුල ශ්‍රී ලංකාව සිටි හෙයින් ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් නිධි තිබීම බොහෝ කලක සිට අනුමාන කර තිබුනා. භූ විද්‍යාත්මකව ගත් කල මන්නාරම් ද්‍රෝණියේ අවසාදිත, ජුරාසික් අවධියේ මොසැම්බික් යුගයට සමපාත වූ බවක් දක්නට ලැබෙන නිසා එමඟින් ද තෙල් හා ගෑස් නිධි තිබීමේ සම්භාවිතාවක් පෙන්නුම් කරනු ලබනවා.


1967-1968
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මුහුදේ කි.මී 420 ක් සහ ගොඩබිම කි.මී 75 ක භූ කම්පන දත්ත එකතු කරනු ලැබුවා.

1970
සෝවියට් දේශය දකුණු ආසියානු කලාපය පිලිබද  කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වීමත් සමඟ ඔවුන් මුහුදු කම්පන දත්ත ව.කි.මී 4837 ක් එකතු කරනු ලැබුවා.

1972-1973
ශ්‍රී ලංකා රජය සමඟ ගිවිසුමක් යටතේ කාවේරි ද්‍රෝණියේ පෝක් බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ දත්ත ඇගයීමක් කරනු ලැබුවා.

1974
සෝවියට් දේශය මන්නාරම දූපතේ පේසලායි ආශ්‍රිතව කැණීම් සිදු කරනු ලැබුවා.

1975
තෙල් සංස්ථාව කාවේරි ද්‍රෝණියේ  ගවේෂණය ප්‍රවර්‍ධනය කිරීම සඳහා උපදේශකයෙකු ලෙස Pexamin Pacific ආයතනය සමග එකගතාවයකට පැමිණුනා.



1976
Western Geophysical සමාගම මගින් දිවයින වටා කි.මී. 1947 ක 2D භූ කම්පන දත්ත සටහන් කර ඇති අතර පෝක් සමුද්‍ර සන්ධියේ සහ මන්නාරම් බොක්කෙහි කි.මී 2829 ක භූ කම්පන දත්ත එකතු කර තිබුනා. පසුව Pexamin Pacific සමාගම මුහුදු වෙරළේ ගවේෂණය සඳහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. 1976 දී Marathon Petroleum සමාගම Pexamin Pacific සම්බන්ධ කර ගනිමින් කාවේරි ද්‍රෝණියේ පොක් බොක්ක -1 සහ ඩෙල්ෆ්ට් -1 යන ගවේෂණාත්මක ළිං දෙකක් සිදුකලත් එම උත්සාහයන් අසාර්ථක උනා.


1977
Marathon - Pexamin  කණ්ඩායම සිය උත්සාහයන් නවත්වා දමන්න තීරණය කරනු ලැබුවා.

1981
Cities Services සමාගම මන්නාරම් බොක්කේ ඊසානදිග කොටසෙහි මීටර් 3050 ක් ගැඹුරට ළිං කැණීම් කලත් තෙල් හා ගෑස් ලබා ගැනීමට නොහැකි උනා. මන්නාරම් ද්‍රෝණි ප්‍රදේශයේ මේ දක්වා ඇති එකම ළිඳ මෙය බවට පත් වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ වඩාත්ම උතුරෙන් වූ ගවේෂණය වන්නෙ මීටර් 1437 ක් ගැඹුරට හාරා ඇති Pedro-1 කැණීම වන අතර එයද අපේක්ෂාවන් ඉටු කර දීමට සමත් උනේ නෑ.

1984
ෆීනික්ස් කැනඩා තෙල් සමාගම, පෙට්‍රෝ-කැනඩා සමාගම සහ ලංකා ඛනිජ තෙල් නීතිගත අතර පැවති ත්‍රෛපාර්ශවික එකඟතාවයකට අනුව පෙට්‍රෝ-කැනඩා සමාගම මන්නාරම් ද්‍රෝණියේ කිලෝමීටර් 980 ක 2D භූ කම්පන දත්ත ලබා ගනුලැබුවා . මන්නාරම් ද්‍රෝණියේ සිදු කෙරුනු පළමු පුළුල් භූ කම්පන වැඩසටහන මෙය වනවා. කෙසේ වෙතත් වැඩිදුර කටයුතු සිදු නොකළ අතර 1984 වන විට ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ ඛනිජ තෙල් ගවේෂණ කටයුතු නැවැත්වූ අතර 2001 වන තෙක් අක්‍රියව පැවතුනා.

2001
2001 දී ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් පැවැත්ම මෙන්ම එහි ඛනිජ තෙල් පරිපාලන සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කෙරුණා. එම වාර්තාවෙන් දිරිමත් වූ නෝර්වීජියානු භූ කම්පන සමාගමක් වන TGS NOPEC සමාගම 2001 සහ 2005 දී භූ කම්පන සමීක්ෂණ දෙකක් සිදු කර මන්නාරම් ද්‍රෝණියේ භූ කම්පන දත්ත කිලෝමීටර් 1100ක් සහ කිලෝමීටර් 4600 ක් එකතු කරනු ලැබුවා.



2002 සිට 2006 දක්වා
ගවේෂණ සමාගම් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකා රජය සහ TGS NOPEC සමාගම උත්සාහ කළත් මෙම උත්සාහයන් අසාර්ථක උනා.

2007
කැබිනට් තීරණයක් යටතේ ශ්‍රී ලංකා රජය මන්නාරම් ද්‍රෝණියේ 2D දත්ත TGS NOPEC වෙතින් මිලදී ගත් අතර එමඟින් TGS NOPEC ආයතනයට ශ්‍රී ලංකාවේ භෞමික මුහුදු ප්‍රදේශයේ භූ කම්පන දත්ත එකතු කිරීමට තිබූ තනි අයිතිය අහෝසි උනා. මෙම දත්ත මත පදනම්ව මන්නාරම් ද්‍රෝණිය වර්ග කිලෝමීටර් 3340 සිට 6640 දක්වා වූ ගවේෂණ ප්‍රදේශ නවයකට වෙන් කරනු ලැබුවා. මුලදී එම ප්‍රදේශ නවයෙන් 3ක් (M1, M2 සහ M3) කැබිනට් මණ්ඩල තීරණයකට අනුව ජාත්‍යන්තර බලපත්‍ යටතේ ඛනිජ තෙල් ගවේෂණය සඳහා ප්‍රදේශ තුනක් ලබා දීමට තීරණය කළ තිබුනත් අවසානයේදී M2 ප්‍රදේශය පමණක් ප්‍රදානය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කලා.

2008
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණය ේ නව ආරම්භයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා රජය ඛනිජ තෙල් හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා හරහා කේන් ලංකා (පුද්ගලික) සමාගම සමඟ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය කිරීමේ ගිවිසුමකට අත්සන් තැබුණා.


2011
මන්නාරම් ද්‍රෝණියේ M2 ගවේෂණ මධ්‍යස්ථානයේ Dorado සහ Barracuda නම් ස්වාභාවික වායු නිධි දෙකක් සොයා ගනු ලැබුවා. සොයා ගැනීම් දෙකෙහි පරිමාමිතික විශ්ලේෂණයේ දක්වා තිබුනේ ස්වාභාවික වායු 1 TCF (ඝන අඩි ට්‍රිලියන) පමණ හා ඝනීභවනය වූ ස්වාභාවික වායු බැරල් මිලියන 10 කටත් වැඩි ප්‍රමාණයක් තිබිය හැකි බවයි. සොයා ගැනීම් දෙකෙන් 350 BCF (ඝන අඩි බිලියන) පමණ ස්වාභාවික වායු ප්‍රමාණයක් හා ඝනීභවනය වූ ස්වාභාවික වායු බැරල් මිලියන 2 ක් ප්‍රමාණයක් කුඩා Dorado තුළ පිහිටා තිබෙන අතර එහි නිශ්පාදන කටයුතු ඉක්මනින්  ආරම්භ කිරීමට හැකියවක් පවතී යැයි විශ්වාස කරනවා. ප්‍රමාණයෙන් විශාල Barracuda මගින් නිශ්පාදනය සදහා හොද අධ්‍යනයක් සහ ප්‍රශස්ත නිෂ්පාදන සැලසුමක් අවශ්‍ය වනවා. මෙම සොයා ගැනීම් දෙකත් සමග මඟින් මන්නාරම් ද්‍රෝණියේ සක්‍රීය ඛනිජ තෙල් පද්ධතියක් ඇති බව සනාථ උනා.



ඛනිජ තෙල් වෙලඳපොල පහත වැටීම හේතුවෙන් M2 ගවේෂණය ෙන් ඉවත් වීමට සමාගම ගත් තීරණයත් සමග රජයේ බලධාරීන් අවධානය මන්නාරම, කාවේරි සහ ලංකා ද්‍රෝණි වලට යොමු උනා.

2013
මන්නාරම් ද්‍රෝණියේ 2013 වසර සඳහා වූ ලංසු වට අසාර්ථක වූයේ මූලික වශයෙන් ස්වාභාවික ගෑස් කර්මාන්තය පිළිබඳ පිළිගත් රජයේ ප්‍රතිපත්තික් නොතිබීම බව සැලකෙනවා. එම නිසා ස්වාභාවික වායු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට PRDS ආයතනය මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවා.

2016
නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි JS -05 සහ JS -06 යන ගැඹුරු මුහුදු කලාප ද්විත්වය සඳහා 2016 දී රජය ප්‍රංශ සමාගමක් සමඟ ඒකාබද්ධ ගවේෂණ අධ්‍යයන ගිවිසුමකට එළඹුණා.



2018
PRDS හි ප්‍රධාන වශයෙන් අවධානය යොමු වුනේ බහු සේවාදායක පදනම මත වැඩි ඛනිජ තෙල් දත්ත ලබා ගැනීම සඳහා. එයට සහය දක්වමින් 2018 පෙබරවාරි මාසයේදී රජය Schlumberger සමාගමට අනුබද්ධ ආයතනයක් සමඟ සේවා ඇණවුම් යටතේ ක්‍රියාත්මක කළ හැකි කුඩා බහු සේවාදායක දත්ත ලබා ගැනීම, සැකසීම, අලෙවිකරණය සහ බලපත්‍ර ගිවිසුමකට එළඹුණා. මෙම සමාගම  JS -05 සහ JS -06 අධ්‍යයන ප්‍රදේශවල කිලෝමීටර් 3000 ක් ආවරණය වන පරිදි විශාලතම 2D භූ කම්පන මෙහෙයුම් සිදු කරනු ලැබුවා.


2019
නැවත මෙම ගිවිසුම සංශෝධනය කර 2019 අගෝස්තු මාසයේදී ඒකාබද්ධව ගවේෂණ කටයුතු අඛණ්ඩව සිදු කිරීම සඳහා නෝර්වේ සමාගමක් අතිරේක හවුල් අධ්‍යයන හවුල්කරුවෙකු ලෙස ඇතුළත් කර ගත්තා. එපමණක් නොව 2019 දී කුඩා ලංසු වට දෙකක් කැදවා M1, M2, C1 ප්‍රදේශ වල ගවේශන කටයුතු නැවත ආරම්භ කිරීමට උත්සාහා දැරුවා. මෙහි අරමුණ උනේ 2025 ට පෙර ස්වාභාවික නිෂ්පාදනය කිරිම.




මන්නාරම් ද්‍රෝණියේ පමණක් තෙල් බැරල් බිලියන 2 කටත් වැඩි ප්‍රමාණයක් සහ ස්වාභාවික වායු ඝන අඩි ට්‍රිලියන 9 කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කිරීමේ හැකියාව ඇති බව කලාපීය විශේෂඥයින්ගේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය (PRDS) ගණන් බලා තිබෙනවා. එය ඉදිරි වසර 60 සඳහා ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් සැලකිය යුතු කොටසක් සපුරාලීමට එය ප්‍රමාණවත් ප්‍රමාණයක්.

ස්වාභාවික වායු පිලිබද ජාතික ප්‍රතිපත්තිය 2021 ජනවාරි මාසයේදි ගැසට් කරනු ලැබු අතර M2 කලාපය තුල ස්වාභාවික වායු ගවේෂණය ට හා නිෂ්පාදනය කිරිම සදහා ජාත්‍යන්තර සමාගම් සහයෝගය ලබා ගැනීමට අපේක්ෂා කරනවා. මෙම ප්‍රතිපත්තිය මඟින් බලාපොරොත්තු වන්නේ 2030 වන විට ආනයනික පොසිල ඉන්ධන මත යැපීම වර්තමාන මට්ටමෙන් අඩකටත් වඩා අඩු කර ගැනීම හා 2030 වන විට ස්වාභාවික වායුවේ භාවිතාව සමස්ත පොසිල ඉන්ධන පරිභෝජනයෙන් තුනෙන් එකක් වත් ළඟා කර ගැනීමයි. සමස්ත බලශක්ති මිශ්‍රනයෙන් අවම වශයෙන් සියයට 30 ක් පවත්වා ගනිමින් සෑම අංශයකම (විදුලිය, ප්‍රවාහන, කර්මාන්ත, ගෘහ හා වාණිජ) ස්වාභාවික වායුවේ භාවිතාවෙ වර්ධනයක් ඇති කිරීමද අරමුණු උනා.

ස්වාභාවික සම්පත් වලින් අනූන ශ්‍රී ලංකාව නුදුරු අනාගතයේම ස්වාභාවික වායු හා ඛනිජ තෙල් නිශ්පාදනය කරන රටක් පවට පත් වෙතැයි අපේක්ෂාවෙන් බලා සිටින්න හැකියාවක් අපට ලැබී තිබෙනවා. මීලග කලාපයෙන් ලෝක ඛනිජ තෙල් නිෂ්පාදනයේ ඉදිරි ගමන, පාරසරික බලපෑම හා එහි දිශානතිය විය යුත්තේ කුමක්ද යන්න ගැන කතා කරමු.

 

Eng. Dhanushka Nuwan Bandara

Experienced Electrical Engineer with a demonstrated history of working in the oil & energy industry. Skilled in AutoCAD, Matlab, Power Systems, Engineering, and Embedded Systems. Strong engineering professional with a Bachelor of Science (BSc) focused in Electrical and Electronics Engineering from University of Peradeniya.

 

 

Facebook Twitter LinkedIn Email Print