The Official E-Newsletter of the Institution of Engineers Sri Lanka   |  Issue 47 - April / May 2020


සුර්ය බලාගාර ඉලක්ක සාක්ෂාත් කරගැනීමට නම්


 ඉංජිනේරු චමිල් එදිරිමුණි

ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජන්ද 69 ලක්ෂයක ජනතා බහුතරයකින් පසුගිය වසරේදී බලයට පත්වීමත් සමග ඉතා හොද ආර්ථික පිබිදීමක් සහ අනාගත බලාපොරොත්තු ඉටුවීමක සතුටුදායක සිතුවිළි ලංකාවේ ජනයා තුළ පැළ පැදියම් වී ඇත. බලශක්ති ක්ෂේත්‍රයේද මේ හා සමග ඉතා විශාල පිබිදීමක් දැකගත හැකි වේ. එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ජනතාවට දී තිබු පොරොන්දුවලට උපරිම අගයක් ලබා දෙමින් පාර්ලිමේන්තුව හමුවේද එළි දැක්වූ සෞභාගය දැක්ම ප්‍රතිපත්ති ලේඛණයේ ඇති බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්කයන් සාක්ෂාත් කරගැනීමේ යෝධ පියවරයන් තැබීම මේ වනවිටත් සාර්ථක ලෙස ආරම්භ වීම ඉතා සතුටුදායකය.

ඒ අනුව පසුගිය සමයේ නඩු හේතුවෙන් අවහිර වූ ද්‍රවීකෘත බලාගාර (LNG) වල ඉදිකිරීම් නොබෝ දිනයකදීම ආරම්භ කිරීමට කටයුතු ගෙන තිබේ. තවත් LNG බලාගාරයක් රජය විසින් ඉදිකිරීම් කටයුතු කිරීමේ මුලික අදියරේ කටයුතුද ආරම්භ වී ඇත. එසේම LNG පර්යන්තයක් සහ සැපයුම් කටයුතු කිරීමට නළ පද්ධතියක ව්‍යාපෘතිද නොබෝ දිනකින් ආරම්භ කරන බව පැවසේ. මෙසේ රාජ්‍ය අංශයේ සහ පුද්ගලික අංශයේ මැදිහත් වීමෙන් ආරම්භ කරන LNG බලාගාර දැනට රජයට අයත් ලක්විජය බලාගාරයට අනගි සහයක් එක් කරන බව නොඅනුමානයි.

අනෙකුත් සෑම රටකම බලශක්ති ප්‍රතිපත්තිය වී ඇත්තේ රටේ සමස්ත බලශක්තියෙන් පුනර්ජනනීය බලය උපරිමයට භාවිතයට ගැනීමයි. අතිගරු ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ලේඛණයේද සදහන්ව ඇත්තේද මෙවැනිම තාත්වික ඉලක්කයකි. එසේම මෙ.වො. 800 ක සුර්ය බලාගාර ධාරිතාවයක් 2030 වන විටදී එක් කරන බවද පැවසේ. එහි සදහන් වන පරිදි 2030 වසර වන විට සුර්ය බලාගාර මෙ.වො. 800 ක ප්‍රමාණයක් ඉදිකිරීමේ පළමු පියවර ලෙස රටපුරා සුර්ය බලාගාර මෙ.වො. 150 ක් ඉදිකිරීමට පෞද්ගලික අංශයෙන් ලංසු කැදවා ඇත. ලංවිම මෙ.වො. 100ක මන්නාරම ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයේද වැඩකටයුතු මේ වසරේ නොවැම්බර් මස අවසන් කිරීමද සිදුවේ. මේ වන විටත් ජාතික විදුලිබල පද්ධතියේ තිබෙන මෙ.වො. 2100 කට අධික පුනර්ජනනීය බලශක්ති ධාරිතාවයට මෙම සුර්ය බලාගාර එකතුවීම නොබෝ කලකින් සිදු වීම ඉතා සතුටුදායකය.

දැනට ලෝකයේ සුර්ය බලාගාර සහ සුළං බලාගාර වලින් විදුලිය ගැනීමේ මිල ගණන් ඉතා අඩු අගයක් ගනී. එසේ වී ඇත්තේ දහවල් කාලයේදී සහ සුළං හමන විට පමණක් මෙම විදුලිය ලබා ගැනීමට ඇති සීමාව හේතුවෙනි. එසේම, තරගකාරී මිල ගණන් වලට බලාගාර සෑදීමේ ප්‍රවණතාවයද මෙයට දායක වී ඇත. මේ වසරේ සුර්ය බලාගාර සදහා කටාර් හි වාර්ථා වූ රු. 3ක සහ අබුඩාබි වල වාර්තා වූ රු. 2.75 ක ඒකක මිළ මෙයට උදාහරණ වේ. ඔස්ට්‍රේලියාව වැනි දියුණු රටවල් වල පවා ගෘහස්ථ සුර්ය බල ඒකකයක මිළ රු. 11 ක් පමණ වන අවස්ථාවකදී අප රටේ පමණක් රු.22 ක් වැනි මුදලකට ගෘහස්ථ විදුලි ඒකකයක් ඉහළ යෑම කිසිසේත් පිළිගත නොහැක. නමුත්, කනගාටුවට කරුණ වන්නේ සමහර ව්‍යාපාරිකයින්ගේ ඇති එකම උත්සහය වනුයේ මේ ආකාරයට අධික මිළ ගණන් වලට නියමිත නිර්නායකයන් සහ නිශ්චිත ඉලක්කයන් අභිභවා සුර්ය බලාගාර පද්ධතියට එක් කරමින් තමන්ගේ ව්‍යාපාරය තර කර ගැනීමටයි.

දැනටමත් ඩීසල් බලාගාර භාවිතය හේතුවෙන් අති විශාල මුදලක් රජයට සහ ලංවීමට වැය වේ. හදිසි ඩිසල් බලාගාර එක් කිරීම ලංවිම ආර්ථික තත්වයට ඉතා අහිතකර ලෙස බල පා ඇත. අප සිදු කළ යුත්තේ මෙම අධි මිළ හදිසි විදුලිය මිලදී ගැනීම නතර කිරීමට කටයුතු කරමින් ලංවිම ලාභදායි තත්වයට පත් කිරීමයි. පසුගිය වසර කිහිපයේම හදිසි විදුලිය මිලදී ගත්තේ අධික උෂ්ණ කාල වල වසරේ මාස 2-3 කට පමණි. එයත් මෙ.වො. 100 ක් වැනි ප්‍රමාණයකි. නමුත්, අති විශාල බැටරි තාක්ෂණය තවමත් ලෝකයේ ඉතා ළදරු අවදියක සිටිනා යුගයක ඉතා විශාල ධාරිතාවයෙන් ලහි ලහියේ විදුලිබල පද්ධතියට ඔබන්න යන සුර්ය බලාගාර, සුළං බලාගාර මතම අප යැපුනහොත් හිරු එළිය නොමැති වැහිබර දිනයන්ද, ක්ෂණිකව වලාකුළු වලින් හිරු රශ්මිය ආවරණය වන මොහොතේදී ද, සුළං නොමැති කාල වලිදීද දැනට ගන්නා ඩිසල් හදිසි විදුලිය ඉදිරියේදී වසරේ සෑම දිනයකදීම STANDBY තබන්න වීම අනිවාර්ය වේ. එසේ නැත්තම් විදුලිය කපන්න සිදු වෙනවා.

එම නිසා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ලේඛණයේ ඇති පරිදිම උපරිම පුනර්ජනනීය බලශක්තියක් රටේ බලශක්ති ක්ෂේත්‍රයට උකහා ගනිමින් ප්‍රතිපත්ති ලේඛන හා සැලසුම් වල නොමැති ප්‍රායෝගික නොවන ආකාරයට කාලගුණය දේශගුණය මත රදා පවතින සුර්ය බලාගාර ලහි ලහියේ සෑදීම රටට කෙසේවත් හිත කර නොවේ. එය ක්‍රමාණුකුලව ගොස් ඉදිරි වසර කිහිපයේදී බැටරි තාක්ෂණයේ දියුණුව සමග අඩු මිළ ස්ථාවර සුර්ය විදුලිය විදුලිබල පද්ධතියට ගැනීමට ඉඩම් ඇතුළු අනෙකුත් පහසුකම් වෙන් කරවා ගැනීම සිදු කරමින් 2030 වසර වන විට සුර්ය බලාගාර මෙ.වො. 800 ක ඉලක්කයට යෑමට බුද්ධිමත්ව තීරණ ගතයුතුයි.

 

 

ඉංජිනේරු චමිල් එදිරිමුණි
සභාපති (කවුන්සිල් සාමාජික)
විද්‍යුත්, ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ අනු කමිටුව
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය