null null IESL Youtube IESL Slideshare
SLEN new Banner
The Official e-newsletter of the Institution of Engineers Sri Lanka  | Issue 38 - January 2018
Please add IOES18@wildapricot.org to your address book to ensure that our emails reach your inbox.
SLEN
President's Corner

Editorial

Council Decisions Now Available in the IESL Web Site
Call for Papers for 112th Annual Sessions
Auspicious start to the 2018 programme
Letters to the Editor
Tell Your Story through IESL Digital SLEN
ARTICLES
Present Status and the Future of the Sri Lankan Power System
Free Trade Agreements - Bane or Boon?
Safety in Buildings
The right professional for the right position
c
Establishing Project Management Units (PMU’s)
Occupational Stress
IESL News
IESL Sectional Committee News
Toastmasters Speechcraft Program
The Annual Sessions of IESL Wayamba Chapter
Women Engineers Day-2018
IESL Christmas Party 2017 – The Fun & Joy
Upcoming Events
IESL Public Lectures
   
 
Articles banner
සොඳුරු නිවහනට රුසිරු පෙනුමක් දෙන මැටි සෙවිලි උළු - ඉංජිනේරු කේ. ඒ. ධම්මිකා රත්නායක
 

වේගවත් සංවර්ධනයත් සමඟම බිම් මල් පිපෙන්නා සේ නා නා ප්‍රකාර ගොඩනැගිලි රට තුළ ඉදි වෙමින් පවතී. වහළ මෙම වාස්තු විද්‍යාත්මක නිර්මාණවල අලංකාරය වැඩි දියුණු කරන එක් මූලික අංගයක් වන අතර එහි සෙවිලි මාධ්‍යය ඒ සඳහා සපයන දායකත්වය ඉතා වැදගත්ය. මෙම සෙවිලි මාධ්‍ය වල දියුණුව ක්ෂණිකව සිදු වූවක් නොව කාලයත් සමඟ සෙමෙන් සෙමෙන් ක්‍රමවත්ව සිදු වු බව පැහැදිලි කරුණකි.

 

තුරු සෙවනක්, විසල් බෙනයක් හෝ ගල් ලෙනක් තම නිවහන කර ගත් ප්‍රාග් මිනිසා සොබාදහමේ විපරිතයන් නිසා සිදු වන ගැහැටෙන් මිදෙන්නට දැරූ වෑයමක ප්‍රතිඵලය ලෙස නිවස නිර්මාණය වන්නට ඇත. එදා නිවසක පිඹුරේ දළ සේයා ඔහුගේ මනස තුළ ඇඳෙන්නට ඇතත් වහළ යන සංකල්පය ඔහු තුළ තිබුණාද නැද්ද යන්න පැහැදිලි නැත. එය පසු කාලීනව නිවසට එකතු වූ අංගයක්ද විය හැකිය. ඒ සංකල්පය සමඟ වහළේ සෙවිලි මාධ්‍යය නොඅනුමානව ඔහුට ගැටළුවක් වන්නට ඇත. ඒ සඳහා ඔහු වට පිටාවෙන් පහසුවෙන් සොයා ගත හැකි ශාක කොටස් යොදා ගන්නා ලදී. මෑත යුගය දක්වාම මානල ඉලුක් වැනි තෘණ වර්ගද, තල් අතුල පොල් අතු වැනි ශාක පත්‍රද, වියළි පොතු වර්ගද, පැඟිරි, පිදුරු වැනි කෘෂිකාර්මික අතුරුඵල ලෙස ලැබෙන ශාක කොටස්ද සෙවිලි මාධ්‍ය ලෙස යොදා ගත් බව නොරහසකි. මෙසේ ආරම්භ වූ සෙවිලි මාධ්‍යය අද වන විට දිගු ගමනක් පැමිණ ඇත.

 

මහින්දාගමනයෙන් පසු නිර්මල බුදු දහම ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීමත් සමඟ රටට ආවේණික වාස්තුවිද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව වෙහෙර විහාර නිර්මාණය වන්නට විය. එම කර්මාන්තයන් සඳහා පිළිස්සූ මැටි සෙවිලි උළු (Burned clay roofing tile), පිළිස්සූ මැටි බිම් උළු (Burned clay floor tile) සහ පිළිස්සූ මැටි ගඩොල් (Burned clay bricks) භාවිතා කළ බවට පුරාවිද්‍යාත්මක ගවේෂණ සනාථ කර ඇත. ඒ සමඟම ශ්‍රී ලංකාව තුළ පිළිස්සූ මැටි සෙවිලි උළු කර්මාන්තයේ ආරම්භය වූ අතර විවිධ හැඩ තල වලින් යුත් කලාත්මක උළු කැට නිපදවා ඇති බවට සාධක අනුරාධපුරය සහ පොලොන්නරුව වැනි පෞරාණික රාජධානි පිහිටි බිම් වල කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම් වලින් හමුවී ඇත. මෙසේ ආරම්භ වූ දේශීය උළු කර්මාන්තයේ අපට ආවේණික අවසාන සාමාජිකයා “සිංහළ උළු” නාමයෙන් හැඳින්වෙන, පැරණි ගොඩනැගිලි වල වහළයන් මත තවමත් රැඳී ඇති උළු වර්‍ගය වේ.

 

ක්‍රි:ව: 1960 දී ජර්මන් ජාතික මිසනාරිවරයෙකු විසින් ඉන්දියාවට හඳුන්වා දෙන ලද “මැංගලෝර්” (Mangalore) නාමය ඇති පිළිස්සූ මැටි සෙවිලි උළු දකුණු ආසියාවට මුලින්ම සංක්‍රමණය වූ ආගන්තුක උළු වර්‍ගය ලෙස සැලකිය හැකිය. ඉන්දියාවේ මැංගලෝර් නගරය ආශ්‍රිත සුලභ ලැටරයට් මැටි (Laterite clay) මේ සඳහා යොදා ගත් බැවින් එම උළු වලට මෙම නාමය ලැබී ඇත. මෙම උළු පළපුරුදු කම්කරුවන් අතින් නිම වූ අතර 1978 දී කැලිකට් ටයිල් කොම්පැණිය (Calicut Tile Company) මගින් සම්පූර්ණ වශයෙන් යන්ත්‍රානුසාරව නිපද වූ උළු වෙළඳ පොළට හඳුන්වා දෙන ලදී. එම උළු “කැලිකට් උළු” (Calicut Tile) නාමයෙන් ප්‍රචලිත විය. මෙම උළු දෙවර්ගයේම හැඩතල (පැතලි) එක හා සමාන වුවද මාන වල සුළු වෙනස්කම් දක්නට ඇත. තවද මෙම උළු දෙවර්ගයම ශ්‍රී ලංකාවටද ආනයනය කර වහළ සෙවිලි කිරීම සඳහා බහුලව යොදා ගත් බව පෙනේ.

 

60 දශකයේ අවසාන භාගයේදී ශ්‍රී ලංකාව තුළද මැංගලෝර් සහ කැලිකට් යන වර්‍ගයන්ට ආවේණික පිළිස්සූ මැටි සෙවිලි උළු වර්‍ග නිෂ්පාදනය අරඹා තිබුණ බැවින් එවකට ප්‍රමිතිකරණ බලතල හිමිව තිබුණ ලංකා ප්‍රමිති කාර්යාංශය (Bureau of Ceylon Standards) මගින් වහළ සෙවිලි කිරීම සඳහා භාවිතා වන පිළිස්සූ මැටි සෙවිලි උළු පිළිබඳ ලංකා ප්‍රමිති පිරිවිතරය (Ceylon Standards of burned clay roofing tiles) ශ්‍රී ලංකා ප්‍රමිතිය 2: 1975 (CS 2:1967) සම්පාදනය කර ප්‍රසිද්ධියට පත් කර ඇත. මෙම ප්‍රමිතිය සංශෝධනය කිරීමේදී ඉහත වර්‍ගයට අයත් උළු සහ ඒ හා යොදා ගන්නා මුදුන් උළු (ridge tiles) පාදක කරගෙන ඇත. එමඟින් දේශීය සෙවිලි උළු වල කල් පැවැත්ම (durability), අනුකූලතාව (compatibility) සහ ගුණාත්මකභාවය (quality) නංවාලීම සඳහා අවැසි උළුවලට තිබිය යුතු මූලික ගුණාංග හඳුනාගෙන ඒවාට සම්මත පිරිවිතර (standard specification) ස්ථාපිත කිරීම තුළින් උළු කර්මාන්තයට නව මුහුණුවරක් ලබා දුනි. කාලීන අවශ්‍යතාවය මත මෙම ප්‍රමිතිය 1975 දී පළමුවන ප්‍රතිශෝධනයට භාජනය කර පිළිස්සූ මැටි සෙවිලි උළු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරය (පළමුවන ප්‍රතිශෝධනය) [Sri Lanka Standards for burned clay roofing tiles (First revision)] ශ්‍රී ලංකා ප්‍රමිතිය 2: 1975 (SLS 2: 1975) සම්පාදනය කර ප්‍රසිද්ධියට පත් කර ඇත.

 

1984 දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත (පනත් අංක 6: 1983) මගින් ලංකා ප්‍රමිති කාර්යාංශ පනත (පනත් අංක 38: 1964) ප්‍රතිස්ථාපනය වීමත් සමඟ ආයතනයට ලැබුණ පැවරුම මගින් භාණ්ඩ සහතික කිරීම සඳහා “SLS” ලාංඡනය හඳුන්වා දීම සිදු විය. එමඟින් මැටි සෙවිලි උළු කර්මාන්ත කරුවන්ට තම කැමැත්ත මත රජයට අනුබද්ධ තෙවන පාර්ශවයක් මගින් සහතික කරන ලද තම නිෂ්පාදනය වෙළඳපොලට යොමු කිරීමට හැකියාව ලැබිණ. එසේම 2011 දී පාරිභෝගික සේවා අධිකාරිය (Consumer Affairs Authority) නිකුත් කරන ලද නියාමන 1690/8 මගින් “SLS” ලාංඡනය මැටි සෙවිලි උළු සඳහා අනිවාර්‍ය කර ඇත. එය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික ගැටළු මතු වුවද ක්‍රියාත්මක කිරීම සාර්ථකව සිදුවෙමින් පවතී.

 

තාක්ෂණික දියුණුවත් සමඟම නොයෙකුත් වහළ සෙවිලි මාධ්‍යය ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවතීරණය විය. ඇස්බැස්ටෝස් රැළි තහඩු (asbestos corrugated sheets), උණු ගිල්ලුම් ගැල්වනයිස් රැළි තහඩු (hot dipped galvanized corrugated sheets), උණු ගිල්ලුම් ඇලුමිනියම්/තුත්තනාගම් ආලේපිත රැළි තහඩු (hot dipped Ai/Zn corrugated sheets), කොන්ක්‍රීට් සෙවිලි උළු (concrete roofing tiles) සහ පිළිස්සූ මැටි සෙවිලි උළු (Burned clay roofing tile), විශේෂ ස්ථානයක් අත්කර ගෙන ඇත. තවද ඇස්බැස්ටෝස් නොවන ස්වභාවික තන්තු හෝ කෘතීම තන්තු සහ සිමෙන්ති වලින් නිර්මිත සෙවිලි රැළි තහඩු මෙන්ම බහු අවයවක (polymer) ආධාරයෙන් නිර්මිත සෙවිලි රැළි තහඩුද ඉදිකිරීම් ක්ෂේත්‍රයට එක් වෙමින් පවතී. කෙසේ වෙතත් මෙම නූතන ආගන්තුක සෙවිලි මාධ්‍යයන්ට පිළිස්සූ මැටි සෙවිලි උළු ක්ෂේත්‍රයෙන් ප්‍රතිස්ථාපනය කල නොහැකිව ඇත. එයට ඇති සාධාරණම හේතුව ලෙස දැකිය හැක්කේ මෙම උළු වලට ස්වභාවයෙන් ලැබී ඇති නෙත්කළු ගඩොල් වර්ණය සහ සහ පහසුවෙන් ඒවාට ලබා දිය හැකි රමණීය හැඩතල නිසා ගොඩනැගිලි නිර්මාණ ක්ෂේත්‍රයෙන් මෙම සෙවිලි මාධ්‍යයට ඇති ඉහළ ඉල්ලුම විය හැකිය. තවද උළු සෙවිලි කල වහලය ගතට සිසිලක් සපයන අතරම පාරිසරිකවද වැඩි වටිනාකමක් ලැබේ.

 

ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ඉල්ලුම මත නොයෙක් කලාත්මක හැඩතල සහිත දේශීය පිළිස්සූ මැටි සෙවිලි උළු රැසක් අද වෙළඳපොලට පිවිසෙන අතරම විවිධ හැඩතල සහිත පිළිස්සූ මැටි සෙවිලි උළු එතරින් මෙතෙර වෙළඳ පොළට අවතීරණය වෙමින් පවතී. පවතින ප්‍රමිති පිරිවිතරයෙන් මේ සියල්ල ආවරණය නොවන නිසා ඒ සියල්ල ප්‍රමිතියේ ආවරණය වන පරිදි ශ්‍රී ලං ප්‍ර 2: 2016 (SLS 2: 2016) හි දෙවන ප්‍රතිශෝධනය සම්පාදනය කර 2016 දී ප්‍රසිද්ධියට පත් කර ඇත. විශේෂ ව්‍යාපෘති ගණයට වැටෙන පුරාණ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය (restoration of ancient building) සහ විශේෂ වාස්තුවිද්‍යාත්මක නිර්මාණ (special architectural designs) සඳහා වන මැටි සෙවිලි උළු මෙමගින් ආවරණය කර නොමැත. තවද ඔප ගැන්වූ (glazed) හෝ වර්ණ ගැන්වූ (coloured) හෝ කැටයම් කරන ලද (engraved) පිළිස්සූ මැටි සෙවිලි උළු වර්‍ගද මින් ආවරණය කර නොමැත. නූතන ගොඩනැගිලි කර්මාන්තයේදී බහුලව භාවිතා වන හැඩතල එකොළහක් (11) නිෂ්පාදකයින්ගේ මෙන්ම පාරිභෝගිකයින්ගේ දැනගැනීම පිණිස දෙවන ප්‍රතිශෝධනය යටතේ දක්වා ඇත.

 

  • (අ) ව්‍යුහාත්මක හා පෘෂ්ඨීය ගුණාංග ( structural and surface characteristics )
  • (ආ) ප්‍රතිෂ්ඨාපන ගුණාංග ( fixing characteristics )
  • (ඇ) අතුරගුලන ගුණාංග ( interlocking characteristics )
  • (ඈ) ජ්‍යාමිතික ගුණාංග ( geometrical characteristics )
  • (ඉ) ස්කන්ධය පිළිබඳ ගුණාංග (mass characteristics )
  • (ඊ) භෞතික හා යාන්ත්‍රික ගුණාංග ( physical and mechanical characteristics )
  • (උ) ගිනි ආවරණ ගුණාංග ( fire performance characteristics )
  • (ඌ) අන්තරායක ද්‍රව්‍ය ( dangerous substance )

 

තවද දෙවන ප්‍රතිශෝධනය මගින් ජල අවශෝෂණ ප්‍රතිශතය අනුව මැටි සෙවිලි උළු ප්‍රභේද තුනකට බෙදා වෙන් කර ඇත. එම ප්‍රභේදයන් පහත වගුවේ දක්වා ඇත.

 
clay
 

ජල අවශෝෂණ ප්‍රතිශතය නිර්ණය කිරීම සඳහා උළු කැට දහය (10) ක් යොදාගන්නා අතර එම කැට දහය සඳහා ලැබෙන අගයන්ගේ සාමාන්‍ය අගය සඳහා පැවතිය හැකි අවම අගය ඉහත වගුවේ දෙවන තීරුවේද, ඒ ඒ උළු කැටය සඳහා තනි තනිව ලැබෙන අගයන්ට පැවතිය හැකි අවම අගය තුන්වන තීරුවේද දක්වා ඇත. නිෂ්පාදකයා විසින් උළු කැටය අයත් ප්‍රභේදය නොමැකෙන පරිදි පැහැදිලිව උළු කැටය මත සටහන් කල යුතුය. නිවස ගොඩනැගෙන කලාපය (තෙත්, වියළි සහ අන්තර් කලාප) අනුව තම නිවසට ගැලපෙන උළු ප්‍රභේදය තෝරා ගැනීමේ හැකියාව මේ අනුව පාරිභෝගිකයාට ලැබේ.

 

උදා :-

  • අධික වර්ෂාපතනයක් සහිත තෙත් කලාපීය ප්‍රදේශවල තනන නිවෙස්වලට සුදුසුතම උළු ප්‍රභේදය AAA වේ.
  • එමෙන්ම වියළි කලාපීය ප්‍රදේශවල තනන නිවෙස්වලට A ප්‍රභේදය යොදා ගැනීමද වරදක් නැත.

 

කෙසේ වෙතත් දැඩි සුළං සහිත සහ අසාමාන්‍ය කාලගුණ තත්වයන් ඇති ප්‍රදේශ වල වහළ සෙවිලි කිරීම සඳහා උළු භාවිත කරන අවස්ථා වලදී මග පෙන්වීම හෝ උපදෙස් සැපයීම මෙම ප්‍රමිතිය මගින් නොකරන අතර එම මග පෙන්වීම සහ උපදෙස් සැපයීම නිෂ්පාදකයා විසින් කරනු ඇතැයි බලාපොරොත්තු වේ. එමෙන්ම උළු සෙවිලි කිරීම සඳහා අවශ්‍යය මග පෙන්වීම ද නිෂ්පාදකයා විසින් කල යුතුය.

 

“SLS” ලාංඡනය මගින් භාණ්ඩයක් සහතික කර ඇත්නම් අදාළ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරයේ දක්වා ඇති පරාමිතියන් හා සබැඳි භාණ්ඩය සතු ගුණාංග සඳහා පරීක්ෂණාත්මකව ලබා ගන්නා අගයන් ප්‍රමිතියේ දක්වා ඇති අවශ්‍යතා සියල්ල සපුරන බව සහතික කරනු ලැබේ. එම නිසා යම් මැටි සෙවිලි උළු නිෂ්පාදනයක් “SLS” ලාංඡනයෙන් සහතික කර ඇත්නම් එය පුළුස්සන ලද මැටි සෙවිලි උළු පිළිබඳ ශ්‍රී ලාංකා ප්‍රමිති පිරිවිතරය (දෙවන සංශෝධනය) - ශ්‍රී ලංකා ප්‍රමිතිය 2: 2016 ට අනුකූලව නිෂ්පාදනය කර ඇත. එවන් පුළුස්සන ලද මැටි සෙවිලි උළු භාවිතයෙන් ඔබේ සොඳුරු නිවහනට රුසිරු පෙනුමක් පමණක් නොව ගුණාත්මකභාවයෙන් යුත් කල්පැවැත්මක් ඇති වහළක් ලබා දෙනු නියතය.

 

ඉංජිනේරු කේ. ඒ. ධම්මිකා රත්නායක
සහකාර අධ්‍යක්ෂ,
තත්ත්ව ආරක්ෂණ අංශය,
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය.

articles submit
 
2017-18 Council Members
 
"All Council Members can be contacted via email or phone by first login as a member to MyIESL and then accessing the Council Directory. It is also possible to communicate your concerns from anywhere in the world by posting them to the Forum - Meet The President and Council from the Forum page"
 
slen
Digital SLEN Issue 37
Digital SLEN Issue 36
Digital SLEN Issue 35
Digital SLEN All Issue
Follow us on
 
Facebook Twitter Youtube IESL Slideshare